10. 1. 1. 7.
සාරිපුත්ත සූත්රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
ඇවැත් සාරිපුත්රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, ආපයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස් සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ වේ දැ යි.
ඇවැත් ආනන්දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො වේ නම් ... පරලෝකයෙහි පරලෝසංඥා නැතියේ වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධි ප්රතිලාභයෙක් වේ යයි.
ඇවැත් ශාරීපුත්රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම් … පරලෝකයෙහි පරලෝකසංඥා ඇතියේ නො වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් කිසෙයින් වේ ද?
ඇවැත් ආනන්දයෙනි, එක් කලෙක මම් මෙ සැවැත්හි ම අන්ධවනයෙහි වාසය කරමි. එහි දී මම් යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නො වීම් නම්, අප්හි අප්සංඥී නො වීම් නම්, තේජස්හි තේජස්සංඥී නො වීම් නම්, වායුවෙහි වායුසංඥී නො වීම් නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥී නො වීම් නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥී නො වීම් නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥී නො වීම් නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥී නො වීම් නම්, ඉධලෝකයෙහි ඉධලෝකසංඥී නො වීම් නම්, පරලොව්හි පරලෝ සංඥී නො වීම් නම්, එබඳු සමාධියකට සමවන්මි.
ඇවැත්නි, එකල ශාරීපුත්ර තෙමේ කවර සංඥා ඇතියෙක් වූයේ දැ යි.
ඇවැත්නි, භවනිරෝධය නිර්වාණය, භවනිරෝධය නිර්වාණය යි අන් ම සංඥාවෙක් උපදනේ ය. අන් ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. එ කෙසේ යැ: ඇවැත්නි, ගිනිගත් රුක්පොතු ගින්නක්හුගේ අන් ම ගිනිසිළෙක් උපදනේ ය, අන් ම ගිනිසිළෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එපරිදි ම භවනිරෝධය නිර්වාණය, භවනිරෝධය නිර්වාණය යි අන්ම සංඥාවෙක් උපදනේ ය. අන්ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එසමයෙහි මම භවනිරෝධය නිර්වාණය යි යන සංඥා ඇතියෙම් ම වීමි යි.