10. 1. 1. 10.
විජ්ජා සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි, නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ අංගය පිරිය යුතු. කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වන්නෙම් දැ’යි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික ද වෙයි, පරිසාවචර නො වෙයි ... පරිසාවචර ද වෙයි. විසාරද වූයේ පිරිස් දහම් නො ද දෙසයි … විසාරද වූයේ පිරිස්හි දහම් ද දෙසයි, නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසයන් නො ද සිහිකෙරෙයි. එනම් එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි … අනේකවිහිත පූර්‍වනිවාසයන් ද සිහි කරයි. එනම්, එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි. විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් නො ද දක්නේ යි ... විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම්වූ පරිදි යන සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ නො ද වාසය කරයි. මෙසේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.
ඔහු විසින් එ අඟ පිරිය යුතු: කිසෙයින් මම් සැදැහැතියෙම් ද බහුශ්‍රුත වූයෙම් ද, ධර්‍මකථිකයෙම් ද, පරිසාවචරයෙම් ද, විසාරදව පිරිස්හි දහම් දෙසන්නෙම් විනයධර වූයෙම් අනේකවිහිත පූර්‍වනිවාසයන් අනුස්මරණ කරන්නෙම් එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ සාකාර වූ සඋද්දේස වූ අනේකවිහිත වූ පූර්‍වනිවාසය අනුස්මරණ කරන්නෙම් විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් … කම් වූ පරිදි පරලොව ගිය සතුන් දක්නෙම් ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරෙම් දැයි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේ පිරිස්හි දහම් දෙසා ද විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වේනිවාස අනුස්මරණ කෙරේ ද, විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද මෙසේ හේ එ අඟින් පරිපූර්‍ණ වෙයි.
මහණෙනි, මෙ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වේ යයි.
ප්‍රථම ආනිසංසවර්‍ග යි.
එහි උද්දානය:
කිමත්‍ථිය සූත්‍රය, චේතනා සූත්‍රය, සීල සූත්‍රය, උපනිස සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සමාධි සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සද්ධ සූත්‍රය, සන්ත සූත්‍රය, විජ්ජා සූත්‍රය දැයි දසයෙක.