තිකය
1. බුදුරදුන් පිරිනිවී කල්හි නො වැ දිවමනු කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි නො වැ පිරිනිවි කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි ද පිරිනිවි කල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
විකාලයෙහි නො වැ කාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි නො වැ විකාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි ද විකාලයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
දහවල් නො වැ රාත්‍රියෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල් පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි ද දහවල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
දසවස් ඇති වැ පැමිණෙන උනු දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු දසවස් ඇති වැ පැමිණෙන දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, දසවස් ඇති වැ ද උනු දසවස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
පස්වස් ඇති වැ පැමිණෙන උනු පස්වස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු පස්වස් ඇති වැ පැමිණෙන පස්වස් ඇති වැ නොපැමිණෙන ඇවැතෙක් ඇත, පස්වස් ඇති වැ ද උනු පස්වස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.
කුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
සුඛ වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, දුක් වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, නො දුක් නො සුව වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇති.
2. චෝදනා වස්තු තුනෙකි: දැකීමෙන් ඇසීමෙන් සැකයෙනි.
ලහගැණීම් තුනෙකි: ගූළහක යැ විවටක යැ සකණ්ණජප්පක යැයි.
ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අසල්ලේඛතා යැයි.
අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ සල්ලෙඛතා යැයි.
අනෙකුදු ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අමත්තඤ්ඤුතා යැයි.
අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ මත්තඤ්ඤුතා යැයි.
ප්‍රඥප්ති තුනෙකි: පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ අනුප්පන්නපඤ්ඤත්ති ය, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ පදෙසපඤ්ඤත්ති යැ සාධාරණපඤ්ඤත්ති යැ, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: අසාධාරණ පඤ්ඤත්ති යැ ඒකතෝ පඤ්ඤත්ති යැ උභතෝ පඤ්ඤත්ති යැ යි.
3. පණ්ඩිතයා නො වැ බාලයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයා නො වැ පණ්ඩිතයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයාත් පණ්ඩිතයාත් පැමිණෙන ඇවැතෙක් ඇති.
ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.
ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහිත් ශුක්ල පක්‍ෂයෙහිත් කැපයෙක් ඇති.
ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නො වැ හේමන්තයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, හේමන්තයෙහි ද වස්සානයෙහි ද නො වැ ගිම්හානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, ගිම්හානයෙහි ද හේමන්තයෙහි ද නො වැ වස්සානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇති.
ගණයා ද පුද්ගලයා ද නො වැ සඞ්ඝයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද පුද්ගලයා ද නො වැ ගණයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද ගණයා ද නොවැ පුද්ගලයා පැමිණෙන ඇවැතෙක් ඇති.