අනනුඤ්ඤාත සමුට්ඨානය
60. අනනුඤ්ඤාතය වචනයෙන් නූපදියි, කයින් හා සිතින් නූපදී, කයින් හා වචනයෙන් උපදියි, එය සිතින් නූපදී.
61. වචනයෙන් හා සිතින් උපදියි, එය කයින් නූපදී. තිදොරින් උපදී. (එහෙයින් මෙය) අමිශ්‍ර වූ චතුසමුට්ඨානයෙකි.
අනනුඤ්ඤාත සමුට්ඨානය නිමි.
62. සමුට්ඨානසංක්‍ෂේපය තෙළෙසකැයි මැනැවින් වදාරණ ලදි. විනයපාලියට අනුලොම් වූ නුමුළා බව කරණ මේ කාරණය දරන නුවණැත්තේ සමුට්ඨානයයෙහි මුළා නො වන්නේ යි.
සමුට්ඨාන ශීර්‍ෂ සංක්‍ෂේපය නිමියේ යි.
අන්තරපෙය්‍යාලය
කතිපූච්ඡාවාරය
ආපත්තීහු කෙතෙක් ද, ආපත්තිස්කන්‍ධයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, අගෞරවයෝ කෙතෙක් ද, ගෞරවයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, විපත්තීහු කෙතෙක් ද, ආපත්ති සමුට්ඨානයෝ කෙතෙක් ද, විවාද මූලයෝ කෙතෙක් ද, අනුවාදමූලයෝ කෙතෙක් ද, සාරාණීය ධර්‍මයෝ කෙතෙක් ද, භේදකර වස්තුහු කෙතෙක් ද, අධිකරණයෝ කෙතෙක් ද, ශමථයෝ කෙතෙක් ද යත්:
ආපත්තීහු පස්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ පස්දෙනෙකි, විනීත වස්තූහු පස්දෙනෙකි, ආපත්තීහු සත්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ සත් දෙනෙකි, විනීතවස්තූහු සත් දෙනෙකි. අගෞරවයෝ සදෙනෙකි, ගෞරවයෝ සදෙනෙකි, විනීතවස්තූහු සදෙනෙකි, විපත්තීහු සිවු දෙනෙකි, ආපත්ති සමුට්ඨානයෝ සදෙනෙකි, විවාදමූලයෝ සදෙනෙකි, අනුවාදමූලයෝ සදෙනෙකි, සාරාණීය ධර්‍මයෝ සදෙනෙකි, භේදකර වස්තූහු අටළොස් දෙනෙකි, අධිකරණයෝ සිවුදෙනෙකි, ශමථයෝ සත් දෙනෙකි.
1. එහි පස්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේශ නීයාපත්ති යැ, දුෂ්කෘතාපත්ති යැයි මොහු පස් වැදැරුම් ආපත්තීහුයි.
2. එහි පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදේසනීයාපත්ති ස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැයි මොහු පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝයි.
3. එහි පස්වැදෑරුම් විනීත වස්තූහු කවරහ යත්: පස් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැ යි මොහු පස්දෙන විනීතවස්තුහුයි.
4. එහි සත්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසා පත්ති යැ, ථුල්ලච්චයාපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේසනීයාපත්ති යැ, දුක්කටා පත්ති යැ, දුබ්භාසිතාපත්ති යැ යි මොහු සත්දෙන ආපත්තීහුයි.
5. එහි සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, ථූල්ලච්චයාපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදෙසානීයාපත්තිස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැ, දුබ්භාසිතාපත්තිස්කන්‍ධ යැ යි මොහු සත්දෙන ආපත්තිස්කන්‍ධයෝයි.
6. එහි සත්වැදෑරුම් විනීතවස්තූහු කවරහ යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රියා යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සත් දෙන විනීත වස්තූහු යි.
7. එහි සවැදැරුම් අගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි අගෞරව යැ දහම්හි අගෞරව යැ සඟුන් කෙරෙහි අගෞරව යැ ශික්‍ෂායෙහි අගෞරව යැ අප්‍රමාදයෙහි අගෞරව යැ පිළිසඳරෙහි අගෞරව යැ යි මොහු සදෙන අගෞරවයෝ යි.