2. 3.
නිස්සග්ගිය කාණ්ඩය
1. (නො ඉටා නො විකපා) පාත්‍ර රැස්කොට තබන මෙහෙණ එක්ම නිසඟිපචිති ඇවතට පැමිණේ.
2. අකාලචීවරයක් කාලචීවරයයි ඉටා බෙදවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: බෙදවා නම් පියෝහි දුකුළා වෙයි, බෙදවූ කල්හි නිසඟි පචිති වේ.
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළිකොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත්කල්හි නිසඟි පචිති වේ.
4. අනෙකක් විනවා අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: දන්වා නම් පියෝහි දුකුළා වෙයි, දැන්වූ කල්හි නිසඟි පචිති වේ.
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල් සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණ කාලයෙහි පොරෝණා) ලුහු පාපුරණයක් විනවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවාගත් කල්හි නිසඟි පචිති වේ.
නිසඟි පචිති නිමි.
2. 4.
පාචිත්තිය කාණ්ඩය
4. 1.
1. අමු සුදුලුහුණු අනුභව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “අනුභව කරන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. සම්බාධ ස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කරවා නම් පියෝහි දුකුළාවෙයි, බැහැර කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. තලඝාතනය කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ජතුමට්ටකය (ලහමට) ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
5. අයිරා දැඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවැටන් කරමින් සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳන්නෙමියි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
9. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල් තණ බිමෙකැ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියා බලා නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.
පළමුවන ලසුණ වර්‍ග යි.