1. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ, කවරක ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ, ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදී වුසූ යැ, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකක, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්ධයෙකැ යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී යැ යත්: සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
උපාලි ස්ථිවිර යැ, දාසක ස්ථවිර යැ, ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිව්හි පැවසූහු.
2. සෙරක උපසපන් කරවන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ සෙරක උපසපන් කරවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
3. එකලා වැ අන් ගමකට යන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද ද යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් හුදෙකලා වූවා ම අන් ගමකට ගියා යැ, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති තුණකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජික සමුට්ඨානයෙන් නඟී. …
4. සමගසඟුන් විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො විචාරා එම කාරකගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ සමගසඟුන් විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො විචාරා එම කාරක ගණයාගේ අදහස නො දැන ඇතුළත් කරගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. …
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳකරණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ, යත්: සුන්දරීනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සුන්දරීනන්දා මෙහෙණ මෙවුන්දම්රායෙන් තෙත් වූවා මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් අහරක් පිළිගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨානයෙහි යැ. …