1. 1.
පාරාජික කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙක්හි ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් වේ ද, සත් වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් වේ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි, කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙහි කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර යැ, සම්පත්ති කවර යැ, ප්‍රතිපත්ති කවර යැ, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙත් ද, කවුරු හික්මුනු සිඛඇතියෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරත් ද, කවුරුන්ගේ වචනයෙක් ද, කවුරුන් විසින් ගෙණඑන ලද ද යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වන පරිජි සිකපදයෙක් පණවන ලද නම් කොතැන්හි පණවන ලද යැ යත්: සැවැත් නුවර දී පණවන ලදී.
කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: කාමරාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ කාමරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියකුගේ කායසංසර්‍ගය ඉවසුවා ය, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ. කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
සත් වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනිය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: ප්‍රඥප්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනිය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත් කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත් කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත් කවර යත්: “දිව්හිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලදී: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් මෙහෙණන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂුණීන්ගේ පහසු විහරණය පිණිස යැ. දිටුදැමියෙහි විඳියයුතු දුක් ගැහැට වැළකීම පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන් සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂ භික්‍ෂුණීහු ද කල්‍යාණ පෘථග්ජන භික්‍ෂුණීහු ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ යැ යත්: රහත් මෙහෙණහු හික්මුණු සිඛඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමිනීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ද ඔහු දරත්.
කවුරුන්ගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
1. උපාලි ස්ථවිර යැ දාසකස්ථවිර යැ සෝණකස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනි කොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
2. ඉක්බිති මහින්‍ද යැ ඉට්ඨිය යැ උත්තිය යැ එසේ ම සම්බල යැ පණ්ඩිත වූ භද්ද නාම යැ මහපැණැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
3. ඔහු හෙළදිව්හි විනය පිටකය හැදැරැවූහ, සඟිපස ද ප්‍රකරණ සත ද හැදැරැවූහු.