දුතියගාථාසඞ්ගණිකය
1. කයින් හටගන්නා ඇවැත්හු කෙතෙකැ, වචනයෙන් හටගන්නා ඇවැත්හු කෙතෙක් (නියම) කරණ ලදහු ද, ඇවැත් වසන්නහුට ඇවැත්හු කෙතෙකැ, කායසංසර්ග හේතුවෙන් වන ඇවැත්හු කෙතෙක යත්:
2. කායික ආපත්තීහු සදෙනෙකි, වාචසිකාපත්තීහු සදෙනෙකැයි (නියම) කරණ ලදහ. ඇවැත් වසන්නහුට ඇවැත් තුණෙකි, සංසර්ග හේතුවෙන් වන ඇවැත් පසෙකි.
3. අරුණු නැඟීමෙහි සිදුවන ඇවැත් කෙතෙකැ, තුන් යළක් සමනුභාසනකම් කිරීමෙන් පසු සිදුවන ඇවැත් කෙතෙකැ, මෙහි අෂ්ට වස්තුක ශික්ෂා කෙතෙකැ, කොපමණකින් ශික්ෂාපදයන්ගේ සර්වසඞ්ග්රහය වේ යැ යත්:
4. අරුණු නැඟීමෙහි (නිසඟි පචිති, සඟ වෙසෙස්, දුකුළා විසින්) ඇවැත් තුණෙකි. යාවතතියකාපත්ති (භික්ෂු - භික්ෂුණී භේදයෙන්) දෙකෙකි. අෂ්ට වස්තුකාපත්ති මේ ශාසනයෙහි (භික්ෂුණීන්ට පමණක් වූ) එකෙකි, එක් නිදානෝද්දේසයෙන් සියලු සිකපදයන් ගේ හා සියලු පාමොක් උදෙසීම්හුගේ සඞ්ග්රහය වේ.
5. යම් ඒ විනය මූලයෝ බුදුරදුන් විසින් පණවන ලදහු ද ඔහු කෙතෙකැ, විනයගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, ඡාදනක දුට්ඨුල්ලාපත්තීහු කෙතෙකැ යත්:
6. බුදුරජුන් විසින් යම් විනය මූල කෙනෙක් පණවන ලදහු ද, ඔහු (කාය වාක් විසින්) දෙදෙනෙක. විනය ගරුකාපත්තීහු (පරිජි-සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. ඡාදනක් දුට්ඨුල්ලාපත්තීහු (පරිජි - සඟ වෙසෙස් විසින්) දෙදෙනෙකි.
7. අන් ගමකට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, නදියෙකින් තෙරට යාමෙන් වන ඇවැත් කෙතෙකැ, කෙතෙක් මාංසයන්හි ථුලැසි ද, කෙතෙක් මාංසයන්හි දුකුළා ද යත්:
8. අන් ගමකට යාමෙන් සිදුවන (දුකුළා-පචිති-ථුලැසි-සඟවෙසෙසැ යි) ඇවැත් සතරෙකැ. නදියෙහි පරතෙරට යාමෙන් සතරෙකැ. එක මැ මිනිස් මසෙහි ථුලැසි වෙයි. (ඇත්, අස්, බලු, දිවි, සප්, සිහ, වග, කළු හිස් වලස් හා කරබාන වලස් යන) නව මසෙහි දුකුළා ඇවැත් වේ.
9. රාත්රියෙහි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දහවල්හි වචනයෙන් වන ඇවැත් කෙතෙකැ, දෙන්නහුට ඇවැත් කෙතෙකැ, පිළිගන්නහුට ඇවැත් කෙතෙකැ යත්:
10. රාත්රියෙහි වචනයෙන් වන ඇවැත් (පචිති - දුකුළා විසින්) දෙකෙකැ. දහවල්හි වාචසිකාපත්තීහු (පචිති - දුකුළා විසින්) දෙදෙනෙකැ. දෙන්නහුට (පරිජි - ථුලැසි - පචිති) ඇවැත්හු තිදෙනෙකැ. පිළිගැන්මෙහි (සඟවෙසෙස් - පරිජි - නිසඟිපචිති හා ථුලැසි යි) ඇවැත්හු සිවු දෙනෙකි.
11. දේසනාගාමිනී ඇවැත් කෙතෙකැ, ප්රතිකර්ම සහිතයැ යි නියම කරණ ලද ඇවැත් කෙතෙකැ, මේ ශාසනයෙහි කෙතෙක් ඇවැත් ප්රතිකර්ම රහිත යැ යි සූර්ය්යබන්ධු වූ බුදුරදුන් විසින් වදාරණ ලද ද යත්:
12. දේසනාගාමිනී (දෙසීමෙන් පිරිසිදු වන) ඇවැත් පසෙකැ, ප්රතිකර්ම රහිත ය යි නියම කරණ ලද පරිජිය හැර සෙසු ඇවැත් සයෙකැ, හිරුගොත් බුදුරදුන් විසින් විසින් මෙ සසුන්හි එක ම පරිජි ඇවැත පිළියම් රහිත යැ යි වදාරණ ලදී.
13. විනය ගරුකාපත්තීහු කෙතෙක් වදාරණ ලදහු ද, කායික හා වාචසික ශික්ෂා කෙතෙකැ, විකාලයෙහි ධාන්යරස කෙතෙකැ, ඥප්තිචතුර්ත්ථකර්මයෙන් සම්මුති කෙතෙකැ යත්:
14. විනයගරුකාපත්තීහු (පරිජි - සඟවෙසෙස් විසින්) දෙදෙනෙකැ යි වදාරණ ලදහ. (සියලු ශික්ෂාවෝ) කායවාචසික වෙති, විකාලයෙහි එක මැ (ලෝණසෝවීරක) ධාන්යරසය වටියි, ඥප්තිචතුර්ත්ථකර්මයෙන් එක් මැ (භික්ඛුනෝවාදක) සම්මුතිය වේ.
15. කායික වූ පාරාජිකා කෙතෙකැ, සංවාසභූමි කෙතෙකැ, කෙතෙක් දෙනකුන්හට රාත්රිච්ජෙදය වේ ද, ද්වඩ්ගුලප්රඥප්ති කෙතෙකැ යත්:
16. කායික වූ පාරාජිකාපත්ති දෙකෙකැ, සංවාසභූමි දෙකෙකැ, (පාරිවාසිකයාහට ද මානත්තචාරිකයාහට ද යන) දෙදෙනකුන්හට රාත්රිච්ඡේදය වෙයි, ද්වඞ්ගුල ප්රඥප්ති දෙකෙකි.
17. තමාහට පැහැරැ කෙතෙක් ඇවැත් අවදී ද, සඞ්ඝතෙමේ කරුණු කීයකින් බිඳේ ද, මෙහි ප්රථමාපත්තීහු කෙතෙක් ද, ඥත්තිකරණ කෙතෙක් ද යත්:
18. තමාහට පැහැරැ අවදනා ඇවැත් (පචිති හා දුකුළා විසින්) දෙකෙකැ, කර්මයෙන් ද සලාකයෙන් දැ යි දෙ කරුණෙන් සඞ්ඝයා බිඳෙයි, මෙහි ප්රථමාපත්තීහු (භික්ෂු භික්ෂුණීන් වශයෙන්) දෙදෙනෙකැ, ඥප්තිකරණ (කර්මය-කර්මපාදක යැ යි) දෙකෙකි.
19. ප්රාණඝාතයෙහි ආපත්ති කෙතෙකැ, වචනයෙන් අවදනා පරිජි කෙතෙකැ, අසභ්යභාෂණ කෙතෙක් වදාරණ ලද ද, සඤ්චරිත්තය කරණ කොට ඇවැත් කඳු කෙතෙක් වේ යැ යත්:
20. ප්රාණඝාතයෙහි (පරිජි-ථුලැසි-පචිති) ඇවැත් තිදෙනෙකි. වචනයෙන් අවදනා පරිජි දහම් (වජ්ජපටිච්ඡාදක-උක්ඛිත්තානුවත්තක-අට්ඨවත්ථුක ය යි) තුණෙකි. අසභ්යභාෂණයෝ (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත්හු තිදෙනෙක් වදාරණ ලදහ. සඤ්චරිත්තය කරණ කොට (සඟවෙසෙස්-ථුලැසි හා දුකුළා යි) ඇවැත් කඳු තුණෙකි.
21. කෙතෙක් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තෝ ද, කර්මයන්ගේ සඞ්ග්රහයෝ කෙතෙක් ද, නාසිතකයෝ කෙතෙක් වදාරණ ලදහු ද, කී දෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ ද යත්:
22. උපසපන් නො කටයුතු පුද්ගලයෝ (අද්ධානහීන, අඞ්ගහීන, වත්ථුවිපන්න යි) තිදෙනෙක් වෙති, කර්මයන්ගේ සඩ්ග්රහයෝ (ඤත්තිකප්පන, විප්පකතපච්චත්ත හා අතීතකරණ විසින්) තිදෙනෙකි. නාසිතකයෝ (ලිඞ්ග-සංවාස හා දණ්ඩකම්ම විසින්) තිදෙනෙක් වදාරණ ලදහ. තිදෙනකුන්හට එක් අනුසාවනයෙක් වේ.
23. අදත්තාදානයෙහි ඇවැත් කෙතෙකැ, මෙවුන්දම් හේතුයෙන් ඇවැත් කෙතෙකැ, (වෘක්ෂාදිය) සිඳින්නහුට ඇවැත් කෙතෙකැ, විස දැමීම් ආදි හේතුයෙන් ඇවැත් කෙතෙකැ යත්: