සංග්‍රහවාරය
පූර්‍වකරණය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පූර්‍වකරණය ධර්‍ම සතෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සේදීමෙන, කඩ නියම කිරීමෙන, කැපීමෙන, හිස්නූල් තැබීමෙන, මැසීමෙන, පඬු පෙවීමෙන, කප්බිඳු තැබීමෙනැ යි. පූර්‍ව කරණය මේ සත් කරුණින් සඞ්ග්‍රහ කරණ ලදී.
පච්චුද්ධාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පච්චුද්ධාරය තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
අධිෂ්ඨානය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අධිෂ්ඨානය, තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
අත්‍ථාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අත්‍ථාරය එක් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: වාග්භේදයෙනි.
කඨිනයට මූලයෝ කෙතෙකැ, වස්තුහු කෙතෙකැ, භූමීහු කෙතෙකැ යත්: කඨිනයට එක් මුලෙකි: සඞ්ඝයා යි. වස්තු තුණෙකි: සඞ්ඝාටි යැ, උත්තරා සඞ්ගයැ, අන්තරවාසක යැ යි. භූමීහු සදෙනකි: කොමු පිළි යැ, කපු පිළි යැ, තිහිරි පිළි යැ, කම්බල යැ, හණවැහැරි යැ, මුසු පිළි යැ යි.
කඨිනයට ආදිය කවරේ ද, මධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: කඨිනයට පූර්‍ව කරණය ආදි යැ. (පච්චුද්ධාර-අධිට්ඨාන) ක්‍රියා මධ්‍ය යැ, අත්‍ථාරය අවසාන යි.
කෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද, කෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වෙයි, අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
කවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද යත්: පුබ්බකරණය නො දනියි, පච්චුද්ධාරය නො දනියි, අධිට්ඨානය නො දනියි, අත්‍ථාරය නො දනියි, (අෂ්ට) මාතෘකාව නො දනියි, (උභය) පළිබෝධය නො දනියි, උද්ධාරය නො දනියි, ආනිසංසය නො දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ.
කවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: පුබ්බකරණය දනියි, පච්චුද්ධාරය දනියි, අධිට්ඨානය දනියි, අත්‍ථාරය දනියි, (අෂ්ට) මාතෘකාව දනියි (උභය) පළිබෝධය දනියි, උද්ධාරය දනියි, ආනිසංසය දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
කෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නො නැඟෙත් ද, කෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නැඟෙත් ද යත්: පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නො නැඟෙති, පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
කවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද යත්: උපචාර සීමාවෙන් බැහැර සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද නො කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා නො දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත්.
කවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නැඟෙත් ද යත්: සීමාවෙහි සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
කෙතෙක් කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද, කෙතෙක් කඨිනත්‍ථාරයෝ නැගෙත් ද යත්: කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නො නැගෙති, කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නැගෙත්.
කවර කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත් ද යත්: වස්තු විපන්නත් වේ ද, කාල විපන්නත් වේ ද, කරණ විපන්නත් වේ දැයි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත්.
කවර කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත් ද යත්: වස්තුසම්පන්නත් වේ ද, කාලසම්පන්නත් ද කරණසම්පන්නත් වේ දැ යි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත්.
1. කඨිනය දතයුතු යැ, කඨිනත්‍ථාරය දතයුතු යැ, කඨිනත්‍ථාර මාසය දතයුතු යැ, කඨිනත්‍ථාර විපත්තිය දතයුතු යැ, කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යැ, නිමිත්තකර්‍මය දතයුතු යැ, පරිකථාව දතයුතු යැ, තාවකාලිකය දතයුතු යැ, සන්නිධිය දතයුතු යැ, නිස්සග්ගිය දතයුතු.
2. කඨිනා ජානිතබ්බං යනු: මේ ‘ කඨින’ යයි (යම් රූපාදි ධර්‍ම කෙනකුන් ඇති කල්හි) ඒ රූප ධර්‍මයන්ගේ ම සඞ්ග්‍රහයෙක් සමවායයෙක් නාමයෙක් නාම කර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් වේ ද එය යි.
3. කඨිනස්ස අත්‍ථාරමාසෝ ජානිතබ්බො යනු: වස්සාන ඍතුව පිළිබඳ පශ්චිම මාසය දතයුතු යි.
4. කඨිනස්ස අත්‍ථාරවිපත්ති ජානිතබ්බා යනු: සූවිසි අයුරෙකින් කඨිනත්‍ථාරවීපත්තිය දතයුතු යි.
5. කඨිනස්ස අත්‍ථාර සම්පත්ති ජානිතබ්බා යනු: සතළොස් අයුරෙකින් කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යි.