චෝදකාදිප්‍රතිපත්ති
1. චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද?
චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චෝදකයා විසින් සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි, රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථ සංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි කරුණු පසෙහි පිහිටා මෙරමා චෝදනා කටයුතු වෙයි, චෝදකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චුදිතකයා විසින් සත්‍යයෙහි ද නො කිපෙන සුලු බවෙහි දැයි දෙ දහම්හි පිහිටිය යුතුයි. චුදිතකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: සඞ්ඝයා විසින් (චෝදක චුදිතකයන්) බැස ගත් නො බැස ගත් පෙර පසු වචනය දතයුතු වෙයි. සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: අනුවිජ්ජක විසින් යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි. අනුවිජ්ජක විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
2. උපෝසථය කුමක් පිණිස ද, පවාරණය කුමක් පිණිස ද, පරිවාසය කුමක් පිණිස ද, මූලායපටිකස්සනය කුමක් පිණිස ද, මානත කුමක් පිණිස ද, අබ්භානය කුමක් පිණිස ද යත්:
3. උපෝසථය සමගබව පිණිස යැ, පවාරණය පිරිසිදුබව පිණිස යැ, පරිවාසය මානත්තය පිණිස යැ, මූලායපටිකස්සනය නිග්‍රහය පිණිස යැ, මානත අබ්භානය පිණිස යැ, අබ්භානය පාරිශුද්ධිය පිණිස යි.
4. ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද ස්ථවිර භික්‍ෂූන්ට පරිභව බෙණේ නම් දුෂ්පාඥ වූ කණන ලද කුසල් මුල් ඇති නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇති ශික්‍ෂායෙහි ගෞරව නැති නුවණ නැත්තේ කාබුන් මරණින් මතු නරකයට යෙයි.
5. (චීවරාදි) ආමිෂය නිසා ද නො වැ, (ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදි) පුද්ගලයා නිසා ද නො වැ, මේ ආමිෂ පුද්ගල දෙපස ම නො තකා ධර්‍මය වූ පරිද්දෙන් විනිශ්චය කරන්නේ යි.
චෝදකාත්මදහනය
1. ක්‍රෝධ ඇති වැ බද්ධ වෛර ඇති වැ සැඬ වැ පරිභාසික වැ නො ඇවැතෙහි ඇවැතැ යි නඟා ද, එබඳු වූ චෝදක තෙමේ තමා දවයි.
2. (මෙසේ කියව මෙසේ නො කියව යි) කණමුල කොඳුරා ද, වරද ම සොයා ද, විනිශ්චය පිරිහෙළා ද, (නො මඟ සෙවී ද) ඇවැත් දක්වා ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
3. නො සුදුසු කල්හි අසත්‍ය වූ රළු වූ අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ ද, මෙත් සිත් නැති වැ දූෂිත සිත් ඇත්තේ චෝදනා කෙරේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
4. දහම් නො දහම් නො දනී ද, දහම් නො දහම්හි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
5. විනය අවිනය නො දනී ද, විනය අවිනයයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැයි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
6. වදාළ නො වදාළ දැය නො දනී ද, වදාළ නො වදාළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
7. (බුද්ධාදීන් විසින්) පුරුදු කළ නො පුරුදු කළ දැය නො දනී ද, පුරුදු කළ නො පුරුදු කළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
8. පණවන ලද නො පණවන ලද දැය නො දනී ද, පණවන ලද නො පණවන ලද දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
9. ඇවැත නො ඇවැත නො දනී ද, ඇවැතෙහි නො ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
10. ලුහුගුරු ඇවැත් නො දනී ද, ලුහුගුරු ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
11. සාවසේස අනවසේස ආපත්ති නො දනී ද, සාවසේස අනවසේස ආපත්තියෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.