චෝදනා කාණ්ඩය
අනුවිජ්ජකානුයෝගය
1. අනුවිජ්ජක විසින් ඇවැත්නි, තෙපි යම්හෙයකින් මේ මහණහට චෝදනා කරනු ද, කවර ඇවැතක් නිමිතිකොට ඔහුට චෝදනා කරනු ද, ශීල විපත්තියෙන් චෝදනා කරහු ද, ආචාර විපත්තියෙන් චෝදනා කරහු ද, දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කරනුදැයි චෝදකයා විචාළ යුතු යි.
2. ඉදින් හේ “ශීල විපත්තියෙන් හෝ චෝදනා කරමි, ආචාර විපත්තියෙන් හෝ චෝදනා කරමි, දෘෂ්ටි විපත්තියෙන් හෝ චෝදනා කරමි”යි මෙසේ කියන්නේ නම් “ආයුෂ්මත්නි, තෙපි ශීලවිපත්තිය දන්නහු ද, ආචාර විපත්තිය දන්නහු ද, දෘෂ්ටි විපත්තිය දන්නහු දැයි” ඔහුට මෙසේ කිය යුතු යැ.
3. ඉදින් හේ “ඇවැත්නි මම ශීලවිපත්තිය දනිමි, ආචාරවිපත්තිය දනිමි, දෘෂ්ටි විපත්තිය දනිමි” යි මෙසේ කියන්නේ නම් “ඇවැත්නි ශීල විපත්තිය කවර ද, ආචාර විපත්තිය කවර ද, දෘෂ්ටි විපත්තිය කවර දැයි ඔහුට මෙසේ කිය යුතු යැ.
4. ඉදින් හෙතෙම සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් දැයි මෙය ශීල විපත්ති යි ද ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැයි මෙය ආචාර විපත් ති යි ද අන්ත ග්රාහික මිථ්යාදෘෂ්ටි දෘෂ්ටි විපත්ති යි ද මෙසේ කියන්නේ නම් “ඇවැත්නි, යම් හෙයෙකින් තෙපි මෙ මහණ හට චෝදනා කරනු ද, දක්නා ලද්දෙන් චෝදනා කරනු ද, අසන ලද්දෙන් චෝදනා කරනු ද, සැකයෙන් චෝදනා කරනු දැ” යි ඔහුට මෙසේ කිය යුතු යැ.
5. ඉදින් හේ “දක්නා ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, අසන ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, සැකයෙන් හෝ චෝදනා කෙරෙමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය: ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මේ මහණහට දක්නා ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් දක්නා ලද ද, තොප විසින් කුමකැයි දක්නා ලද ද, තොප විසින් කවර කලෙකැ දක්නා ලද ද, තොප විසින් කොතැන්හි දක්නා ලද ද, පරිජියට අවදනේ දක්නා ලද ද, සඟවෙසෙසට අවදනේ දක්නා ලද ද, ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවදනේ දක්නා ලද ද, තෙපි කොහි වූවහු ද, මේ මහණ කොහි වී ද, තෙපි කුමක් නම් කළහු ද, මේ මහණ කුමක් නම් කෙළේ දැයි කියා යි.
6. ඉදින් හේ “ඇවැත්නි, මම මේ මහණහට දක්නා ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් අසන ලද්දෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: “ඇවැත්නි, තෙපි යම් හෙයෙකින් මේ මහණහට අසන ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් අසන ලද ද, තොප විසින් කුමකැ යි අසන ලද ද, තොප විසින් කවර කලෙකැ අසන ලද ද, තොප විසින් කොතැන්හි අසන ලද ද, පරිජියට අවනැයි අසන ලද ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි අසන ලද ද, මහණක්හුගෙන් අසන ලද ද, මෙහෙණකගෙන් අසන ලද ද, සික්මනුවකගෙන් අසන ලද ද, හෙරණකුගෙන් අසන ලද ද, හෙරණක ගෙන් අසන ලද ද, උවසුවකුගෙන් අසන ලද ද, උවැසියකගෙන් අසන ලද ද, රජුන්ගෙන් අසන ලද ද, රජමහ ඇමතියන්ගෙන් අසන ලද ද, තොටුවන්ගෙන් අසන ලද ද, තොටුසව්වන්ගෙන් අසනලද දැ” යි කියා යි.
7. ඉදින් හේ “ඇවැත්නි, මම් මේ මහණහට අසන ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් සැකයෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට සැකයෙන් චෝදනා කරහු නම් කුමක් සැක කරහු ද, කුමකැයි සැක කරහු ද, කවර කලෙක සැක කරහු ද, කොතැන්හි සැක කරහු ද, පරිජියට අවනැයි සැක කරහු ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි සැක කරහු ද මහණක්හුගෙන් අසා සැක කරහු ද, මෙහෙණකගෙන් ... සික්මනුවකගෙන් .... හෙරණකුගෙන් .... හෙරණකගෙන් ... උවසුවකුගෙන් ... උවැසියකගෙන් ... රජුන්ගෙන් ... රජමහ ඇමතියන්ගෙන් ... තොටුවන්ගෙන් ... තොටුසව්වන්ගෙන් අසා සැක කරහු” දැයි කියා යි.
8. දක්නා ලද්ද දක්නා ලද්ද හා සම් වේද, දක්නා ලද්ද දක්නා ලද්ද හා සැසඳේ ද, දැකීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල තෙමේ අමූලක වැ අශුද්ධ යැ යි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි”යි ඔහුගේ ප්රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
9. අසන ලද්ද අසන ලද්ද හා සම වේ ද, අසන ලද්ද අසන ලද්ද හා සැසඳේ ද, ඇසීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
10. (ගන්ධ - රස - ස්පර්ශ) මුතය මුතය හා සම වේ ද, මුතය මුතය හා සැසඳේ ද, මුතය මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යි.
11. චෝදනාව පිළිබඳ ආදිය කවරේ ද, මද්ධ්යය කවරේ ද, අවසානය කවරේ ද යත්: අවසර ගැන්ම චෝදනාව පිළිබඳ ආදිය යි, චෝදනා කිරීම මද්ධ්යය යි, ශමථය අවසානයයි.
12. චෝදනාව පිළිබඳ මුල් කෙතෙක් ද, වස්තු කෙතෙක් ද, භූමි කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: චෝදනාව පිළිබඳ මුල් දෙකෙකැ. වස්තු තුණෙකැ. භූමි පසෙකැ. දෙ අයුරෙකින් චෝදනා කෙරේ.
13. චෝදනාව පිළිබඳ මුල් දෙක කවරේ ද යත්: සමූලික යැ, අමූලික යැ යි චෝදනාවගේ මේ මුල් දෙක යි.
14. චෝදනාව පිළිබඳ වස්තු තුණ කවරේ ද යත්: දක්නා ලද්දෙන් යැ අසන ලද්දෙන් යැ සැකයෙන් යැයි චෝදනාව පිළිබඳ මේ වස්තු තුණයි.
15. චෝදනාව පිළිබඳ භූමි පස කවරේද යත්: සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්යයෙන් කියන්නෙමි, අසත්යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි රළු බසින් නො කියන්නෙමි, අර්ත්ථසංහිතයෙන් කියන්නෙමි, අනර්ත්ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි චෝදනාව පිළිබඳ මේ භූමි පස යි.
16. කවර දෙඅයුරෙකින් චෝදනා කෙරේ ද යත්: කයින් චෝදනා කෙරෙයි, වචනයෙන් චෝදනා කෙරෙයි, මේ දෙඅයුරෙන් චෝදනා කෙරේ.