අපරගාථාසඞ්ගණිකය
1. චෝදනාව කුමක් පිණිස යැ, වරද සිහිකරවීම කුමක් සඳහා යැ, සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිස යැ, යළි මතිකර්‍මය (විනයධරයන්ගේ විනය නය සංසන්‍දනය) කුමක් පිණිස යැ යත්:
2. චෝදනාව කළ වරද සිහිපත් කරවනු පිණිස යැ, කළ වරද සිහිපත් කරවීම නිග්‍රහ පිණිස යැ, සඞ්ඝසන්නිපාතය (විනිශ්චයෙහි දැහැමි නො දැහැමි බව) දැනගන්නා පිණිස යැ, යළි මතිකර්‍මය වනාහි වෙන් වෙන් වැ විනිශ්චය මොනවට නිමවීම පිණිස යි.
3. ඉදින් තෙපි අනුවිජ්ජක වවු නම් යුහු වැ බස් නො කියව, සැඩ වැ බස් නො කියව, කෝපය නූපදව.
4. (පිරිස් කැළඹීම් ආදී) අවැඩින් යුත් කලහ උපදවන කථාවක් වහා නො කියව, උභතෝ විභඞ්ගයෙහි ද ඛන්‍ධකයෙහි ද පරිවාරයෙහි ද සියලු විනය පිටකයෙහි ද සතර මහාපදේසයෙහි ද,
5. දක්‍ෂ වූ බුදුරජුන් විසින් එළවා තබන ලද මොනවට පනවන ලද සියලු සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව ඉපැත්ම (පිහිට) නො නසමින් සලකා බලව.
6. චුදිතකයාහට ද චෝදකයාහට ද මෙත් සිත් පෙරදැරි වැ සුදුසු කාලයෙහි අර්‍ත්‍ථසංහිත කොට විනිශ්චය කරව. ඔවුන් ලාහෙලා කියන ලද වචනය නො ගණුව.
7. චෝදක ඇවැතට අවන්නේ යයි කියා නම් චුදිතක නො අවන්මියි කියා නම් (එකල්හි) දෙපක්‍ෂයෙහි තෙපුල් බැහැර නො කරමින් කථානුසන්‍ධිය හා ප්‍රතිඥාව සලකා විනිශ්චය කරන්නේ යැ.
8. ප්‍රතිඥාව ලජ්ජී භික්‍ෂූන් කෙරෙහි කරන ලද්දී යැ. අලජ්ජීන් කෙරෙහි මේ පිළින විද්‍යමාන නො වෙයි. අලජ්ජි තෙමේ බොහෝ කොටත් කියන්නේ යැ. (එබැවින්) ඔහුගේ වත සමඟ යම් පිළිනෙක් ගැළපේ ද ඒ පිළිනෙන් විනිශ්චය කරන්නේ යැ.
9. අලජ්ජි පුද්ගල කෙබඳු වේ ද, යමක්හුගේ පිළින නො නගී ද, කෙබඳු වූයේ ‘අලජ්ජී පුද්ගල’යි කියනු ලැබේ දැයි මෙසේත් මම ඔබ විචාරමි.
10. දැන දැන ඇවැතට පැමිණෙ යි, ඇවැත සඟවයි, (ඡන්‍දාදීන් අගතියට ද යෙයි, මෙබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
11. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. කෙබඳු වූයේ ‘ලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ ද?
12. දැන දැන ඇවැතට නො පැමිණෙයි, ඇවැත නො සඟවයි, අගතියට නො යෙයි, මෙබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
13. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. “අධර්‍මචෝදක’ කෙබඳු යැ යි කියනු ලැබේ ද?
14. නො කල්හි චෝදනා කෙරෙයි, අභූතයෙන්, පරුෂවචනයෙන් අනර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි, ඇතුළත හටගත් ද්වේෂ ඇති වැ මෙත්සිත් නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ.
15. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ ද?
16. නිසි කල්හි චෝදනා කෙරෙයි, භූතයෙන් සිලිටි බසින් අර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි. මෙත්සිත් ඇති වැ ඇතුළත හටගත් ද්වේෂ නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’ යි කියනු ලැබේ.
17. සැබැව, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ ද?
18. පෙර පසු කථාව නො දනියි, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වෙයි, අනුසන්‍ධි වචන මාර්‍ගය නො දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි අදක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ.
19. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල “බාලචොදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ ද?
20. පෙර පසු කථාව වෙසෙසින් දනියි, පෙර පසු කථාවෙහි දක්‍ෂ වෙයි. අනු සන්‍ධි වචන මාර්‍ගය දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි දක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ.
21. සැබැවැ, මම ද එය දනිමි. එබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. චෝදනා කිමැ යි කියනු ලැබේ ද?
22. ශීල විපත්තියෙන් චෝදනා කෙරෙයි, යළි ආචාර විපත්තියෙන් හා දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීව විපත්තියෙනුදු චෝදනා කෙරෙයි, එයින් ‘චෝදනා’යි කියනු ලැබේ.
අපරගාථාසඞ්ගණිකය නිමි.