9. 1.
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කිනම් වස්තුයෙක්හි ද? ... කවරක්හු විසින් ගෙණ එන ලද ද?
මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සුදින්න නම් කලන්දපුත්රයා ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සුදින්න කලන්ද පුත්ර තෙමේ පැරණි (ගිහි කල) අඹුව සමග මෙවුන්දම් සේවන කෙළේය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති දෙකෙකි. අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: සාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝ පඤ්ඤත්ති වේ ද උභතෝපඤ්ඤත්ති වේ ද යත්: උභතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ වේ ද, කොහි ඇතුළත් වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය, නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යි. සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්ධයෙක් වේ ද යත්: පාරාජිකාපත්තිස්කන්ධ යි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණඑන ලදී.
උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ, මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහා ප්රාඥ, විනය දන්නා මාර්ගඥානයෙහි දක්ෂ මේ ක්ෂීණාස්රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
2. නුදුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් වන පරිජිය ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ධනිය කුම්භකාර පුත්රයා ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ධනිය කුම්භකාර පුත්ර තෙමේ රජහු සතු නුදුන් දැව ගත්තේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කිරීම් හේතුයෙන් වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොර කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ (ධ්යානාදි) උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි පැවැසීම් හේතුවෙන් වන පරිජිය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්ෂූන් ගිහියනට ඔවුනොවුන්ගේ උතුරුමිනිස්දම් පිළිබඳ ගුණ කීහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි. ...
සතර පරිජි නිමි.
9. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කවර වස්තුවෙක්හි ද, ... කවරක්හු විසින් ගෙණඑන ලද ද?
උපක්රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණ උපක්රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති එකෙකි, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්තිවේ ද යත්: සබ්බත්ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද, අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති වේ ද, උභතෝපඤ්ඤත්ති වේ ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත්වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ, නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කවර උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙ වැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යැ, සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්ධයෙක් වේ ද යත්: සඞ්සාදිශේෂාපත්තිස්කන්ධ යි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදී.