4. 2.
1. රුක්ලිය කලකුරුවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කලකුරුවා නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
2. ආන්‍යවචනයකින් අන්‍යවචනයක් වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අන්‍යවාදක කර්‍මය ආරෝපණය නො කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් දුකුළා වෙයි, අන්‍යවාදක කර්‍මය ආරෝපණය කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් පචිත් ඇවැත් වේ.
3. මහණක්හු හෙළා දක්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හෙළා දක්නේ නම් පියෝහි දුකුළා වෙයි, හෙළා දුටු කල්හි පචිති ඇවැත් වේ.
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුමක් හෝ එළිමහනෙහි අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය කැටක් හෙළන තැන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
5. සඟසතු වෙහෙරෙහි අස්නක් අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹි මහණක්හු වෙතට එළඹ ශයනය කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. කිපියේ නොසියමන් වැ සඟසතු වෙහෙරින් මහණක්හු නෙරපන සිත් ඇති මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නෙරපා නම් පියෝහි දුකුළා වෙයි, නෙරපූ කල්හි පචිති ඇවැත් වේ.
8. සඟසතු වෙහෙරෙහි අහස් කිළියෙහි වියල් විද සිළු ගන්වා කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳීනම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
9. පිරිකෙව් සෙවෙනි දෙකක් තුණක් විධාන කොට ඉන් වැඩියක් විධාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විධාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, විධාන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. දැන දැන පණුවන් සහිත දිය තණට හෝ මැටියට හෝ ඉසින මහණ දෙ ඇවැත කට පැමිණෙයි: ඉසී නම් පියෝහි දුකුළා වෙයි, ඉසි කල්හි පචිති ඇවැත් වේ.
දෙවන භූතගාම වර්‍ග යි.
4. 3.
1. මෙහෙණන්හට ඔවා දෙන සම්මතය නො ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔවා දේ නම් දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
2. හිර අවරට ගියකල්හි මෙහෙණන්හට ඔවාදෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
3. මෙහෙණවරට එළඹ මෙහෙණන්හට ඔවා දෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
4. “භික්‍ෂූහු ආමිෂ හේතු කොට මෙහෙණන්හට ඔවා දෙති” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියා නම් පියෝහි දුකුළා වෙයි, කී කල්හි පචිති ඇවැත් වේ.
5. නො නෑ මෙහෙණකට සිවුරක් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
6. නො නෑ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගෙත්තම් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, හිදියෙහි හිදියෙහි පචිති ඇවැත් වේ.
7. මෙහෙණක හා ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
8. මෙහෙණක හා ගිවිස ගෙණ එක් නැවකට නඟින මහණ දෙ ඇවතකට පැමිණෙයි: නඟී නම් පියෝහි දුකුළා වෙයි, නැඟි කල්හි පචිති ඇවැත් වේ.
9. මෙහෙණක නිපද වූ අහරක් දැන දැන වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
10. එකලා මෙහෙණක හා රහස්හි හිඳීම කරණ එකලා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
තෙවන ඕවාද වර්‍ග යි.
4. 4.
1. එයට (දිනකට) වඩා මඟී ආදීන් සඳහා සකස් කළ ආවස්ථ පිණ්ඩය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. ගණ බොජුන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.