10. 1.
පාරාජික කාණ්ඩය
1. මෙවුන්දම් සෙවුනා හේතුවෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: මෙවුන්දම් සෙවුනා හේතුවෙන් සිවු ඇවැතකට පැමිණේ. ක්‍ෂය නො වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි නො පහරමින් හදන් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි. ලතුයෙන් කළ නිමිත්තෙහි නම් පචිති ඇවැත් වේ. මෙවුන්දම් සෙවීම් හේතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
2. හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් පරිජි ඇවැත් වෙයි. අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නොදුන් දෙය තෙනා ගණී නම් ථුලැසි ඇවැත් වෙයි. මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දෙය ගැණීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
3. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. “වැටී මැරෙන්නේ මැනැවැ” යි මිනිසකු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි. වැටුනු කල්හි දුක් වේදනා උපදී නම් ථුලැසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
4. තමා තුළ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. “ඔබගේ විහාරයෙහි යම් මහණෙක් වෙසේ නම් ඒ මහණ රහත්” යැ යි දැනුමැතියක්හට බෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි. නො දැනුමැතියක්හට නම් දුකුළා ඇවැත් වේ. තමා තුළ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
සතර පරිජි නිමි.
10. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: සිතා නම් උපක්‍රම කෙරේ නම් මුදා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, සිතා නම් උපක්‍රම කෙරේ නම් නො මුදා නම් ථුලැසි ඇවැත් වෙයි, පියෝහි දුකුළා වේ. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
2. කාසසඟයට පැමිණීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාස සඟයට පැමිණීම් හේතුයෙන් පස් ඇවැතකට පැමිණෙ යි: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණක් එම රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හු විසින් අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැන්ම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණ (තමා ගේ) කයින් (මාගමක ගේ) කය ආමර්‍ශ කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැදියක් ආමර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියකින් කය පිළිබැඳියක් ආමර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කාසසඟයට පැමිණීම් හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
3. මාගමකට තුළුල් තෙපුල් කීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. වසමඟ පසමඟ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමඟ පසමඟ තබා අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියක් අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණකීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයකු හමුයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගතයකු හමුවෙහි තමහට මෙවුන් දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් දුකුළා ඇවැත් වේ.
5. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්ත’ හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නොම ගෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නොම ගෙණේ නම් දුකුළා ඇවැත් වේ.
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියකු ඇති) මහත් වූ විහාරයක් කරවීම් හේතුවෙන් තුන් ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි. එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. අමුලුපරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැති ව චෝදනා කෙරේ නම් සඟවෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.