10. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: සිතා නම් උපක්‍රම කෙරේ නම් මුදා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, සිතා නම් උපක්‍රම කෙරේ නම් නො මුදා නම් ථුලැසි ඇවැත් වෙයි, පියෝහි දුකුළා වේ. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
2. කාසසඟයට පැමිණීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාස සඟයට පැමිණීම් හේතුයෙන් පස් ඇවැතකට පැමිණෙ යි: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණක් එම රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හු විසින් අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැන්ම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණ (තමා ගේ) කයින් (මාගමක ගේ) කය ආමර්‍ශ කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැදියක් ආමර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියකින් කය පිළිබැඳියක් ආමර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කාසසඟයට පැමිණීම් හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
3. මාගමකට තුළුල් තෙපුල් කීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. වසමඟ පසමඟ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමඟ පසමඟ තබා අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියක් අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් දුකුළා ඇවැත් වේ.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණකීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයකු හමුයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගතයකු හමුවෙහි තමහට මෙවුන් දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් දුකුළා ඇවැත් වේ.
5. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්ත’ හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නොම ගෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නොම ගෙණේ නම් දුකුළා ඇවැත් වේ.
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. (කරවා දෙන හිමියකු ඇති) මහත් වූ විහාරයක් කරවීම් හේතුවෙන් තුන් ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි. එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. අමුලුපරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැති ව චෝදනා කෙරේ නම් සඟවෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැතිව චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ අක්‍රොශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
10. සඞ්ඝභේදක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. භේදකානුවත්තක මහණහු තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. නො කීකරු මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. කුලදූෂක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ. ...
14. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතු වෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් මේ එක් ඇවැතට පැමිණේ.
දෙවන කතාපත්තිවාරය නිමි.