1. 6.
පාටිදේසනීය කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යයක් සම්බුද්ධයන් වහන්සේ විසින් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් ආහාරයක් පිළිගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. විධාන කරණ මෙහෙණක නො වළක්වා වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු විධාන කරණ මෙහෙණන් නො වැළැක් වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟි යි, වචනයෙන් නො නඟි යි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. …
4. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ අරම තුළැ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු අරම තුළ වසන සොරුන් ගැණ නො දැන්වූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟි යි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
සිවු පිළිදෙස්නීහු නිමියහ.
එහි උද්දානය:
අඤ්ඤාතික යැ, වොසාසන්තී යැ, සේඛසම්මත යැ, ආරඤ්ඤභෝජන යැ යි සම්බුදු රදුන් විසින් පණවන ලද පාටිදේසනීය සතරෙකි.