5. 2. භූතගාම වර්‍ගය
1. අමු ලිය රුක් තණ ආදි භූතසමූහය සිඳීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු ගසක් සිඳලූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
2. අනෙකක් කීමෙහි ද (නිහඬවීමෙන්) වෙහෙසීමෙහි ද පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවතින් චෝදනා කරණු ලබනුයේ අනෙකෙකින් අනෙකක් වැසී ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
3. අවමන් කිරීමෙහි ද අයුණු කීමෙහි ද පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයනට භික්‍ෂූන් ලවා අවමන් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුවක් හෝ එළිමහනෙහි අතුට නො නගා තබා නො පිළිවිසැ බැහැර යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු සඟසතු සෙනසුන් එළිමහනෙහි අතුට නො නඟා තබා නො පිළිවිසැ බැහැර ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
5. සඟසතු වෙහෙරෙහි ශය්‍යාවක් අතුට නො නඟා තබා නො පිළිවිස බැහැර යන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු සඟසතු වෙහෙරෙහි ශය්‍යාවන් අතුට නො නගා තබා නො පිළිවිස බැහැර ගියාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹ සිටි මහණහු හමුවට වැද ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ස්ථවිර භික්‍ෂූන් හමුවට වැද ශයනය කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නඟී. ...
7. කිපී නොසතුටු සිතින් මහණක්හු සඟසතු වෙහෙරින් බැහැර කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමහණහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන් සඟසතු වෙහෙරින් බැහැර කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
8. සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළුගන්වා කළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළු ගන්වා කළ පා ඇති ඇඳෙකැ යුහුව හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින්ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. …