1. 5.
පාචිත්තිය කාණ්ඩය
5. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දැන දැන බොරු කීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: හත්‍ථක ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් හත්‍ථක ශාක්‍යපුත්‍ර තීර්‍ත්‍ථකයන් සමග සාකච්ඡා කරණුයේ වළහා පිළිණ කෙළේයැ, පිළිණ කොට වැළහී යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. (ජාත්‍යාදියෙන්) ගටා බිණීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරන්නාහු ප්‍රියශීල භික්‍ෂූන් ගටා බිණුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
3. මහණුන් බිඳුවන පෙහෙසුන් බස්හි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් භික්‍ෂූන් අතරැ ප්‍රියභාවය සුන් කරණ පෙහෙසුන් බස් එළවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
4. අනුපසපනක්හු සමග පද වශයෙන් ධර්‍මය කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උවසුවන් හා පද වශයෙන් ධර්‍මය කීහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
5. අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි ඒකත්‍රශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු අනුපසපනක්හු සමග ඒකත්‍රශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
6. මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...