5. 3. 9.
සාසඞ්ක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වැස නිමවූ වස් ඇතියාහු වනසෙනසුන්හි වෙසෙති. ඉල්මස සොරු “භික්‍ෂූහු ලද ලාභ ඇත්තාහු යයි” උවදුරු කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි, දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදනිමි”යි.
2. එසමයෙහි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදන්නා ලදැ’යි තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙති. ඒ සිවුරු නැසෙති. වැනසෙති. දැවෙති. මීයන් විසිනුදු කනු ලැබෙති. මහණහු දිරූ සිවුරුපිළි ඇත්තාහු, රළු සිවුරු ඇත්තාහු වෙත්. භික්‍ෂූහු මෙසේ කීහ. “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් දිරූ සිවුරුපිළි ඇත්තාහු රළුසිවුරු ඇත්තහුදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙද්දැ”යි.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා ‘සරැයක් වෙන්ව වෙසෙත්ල’යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, කෙසේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වුසූහු ද. මහණෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“වස් වැස හිල් මැදි පොහොය තෙක් සැක සහිතයයි සම්මත වූ බිය සහිත වූ වනසෙනසුන් කෙනෙක් වෙද්ද, එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේ කැමැත්තේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නේ ය. ඒ මහණහට ඒ සිවුරෙන් වෙන්ව විසීමට කිසි හේතුවක් ඇත්තේ නම් එ මහණ විසින් උඩත් පිරිසෙයින් සරැයක් කල් ඒ සිවුරෙන් වෙන්ව විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි භික්‍ෂූසම්මතියෙන් තොරව වෙන්ව වසන්නේ නිසඟිපචිති වේ” යයි.
4. උපවස්සං පන ඛො යනු: විසූවස් ඇතියනට.
කත්තිකපුණ්ණමං යනු: හිල්මස පණුරැසිය කියනු ලැබේ..
යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: දුනු පන්සියක් වූ පැසුළු සෙනසුන ආරණ්‍යක නමි.
සාසඞ්ක නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් පිවිසි තැන දක්නා ලැබෙ යි. අනුභව කළ තැන දක්නා ලැබෙයි. සිටි තැන දක්නා ලැබෙයි. හුන් තැන දක්නා ලැබෙයි. හොත් තැන දක්නා ලැබෙයි.
සප්පටිභය නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් විසින් නසන ලද මිනිස්සු දක්නා ලැබෙති. පැහැර ගන්නා ලදහු දක්නා ලැබෙති. පෙළන ලද්දාහු දක්නා ලැබෙති.
තථාරූපෙසු භික්ඛු සේනාසනේසු විහරන්තො යනු: එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේය.
ආකඞ්ඛමානෝ යනු: කැමැතිවන්නේ.
තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං යනු: සඟළ හෝ පොරෝණය හෝ අඳනය හෝ යි.
අන්තරඝරෙ නික්ඛිපෙය්‍ය යනු: හාත්පසැ ගොදුරුගමෙහි තබන්නේය.
සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො තෙන චීවරෙන විප්පවාසාය යනු: හේතුවක් වේ නම්, කටයුත්තක් වේ නම්.
ජාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං යනු: උඩත් පිරිසෙයින් සරැයක් වෙන්ව විසිය යුතුයි.
අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්ඛුසම්මුතිය හැර.
තතො චෙ උත්තරිං විප්පවසෙය්‍ය යනු: සත්වන අරුණ නැගෙත්ම නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසදිය යුතු. “වහන්ස මගේ මේ සිවුර භික්‍ෂුසම්මතියෙන් තොරව අයිරා සරැයක් වෙන්ව වසන ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි”යි.