පත්ත වර්ගය
5. 3. 1.
පත්ත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වාසය කරණ සේක. එසමයෙහි සවගමහණහු බොහෝ පාත්ර රැස් කෙරෙති. විහාරචාරිකාවෙහි හැසිරෙන මිනිස්සු දැක හෙලා දකිති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ බොහෝ පාත්ර රැස් කෙරෙද්ද, ශ්රමණ ශාක්යපුත්රීයයෝ පාත්ර වෙළෙඳාම හෝ කෙරෙද් ද, අමත්අවුණක් හෝ විවෘත කෙරෙත් දැ”යි. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අතිරේකපාත්ර දරද් දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, තෙපි අතිරේක පාත්ර දරවු දැ”යි. “සැබව, භාග්යවතුන් වහන්ස.” භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි අතිරේක පාත්ර දරවු ද? තුච්ඡපුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් අතිරේකපාත්ර දරා නම් නිසඟිපචිති වේ” යයි.
මෙසේත් මේ සිකපදය භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
2. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරුන්ට අතිරේක පාත්රයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ඒ පාත්රය ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙයි. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සාකේතනුවර වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මේ සිත විය: අතිරේක පාත්රයක් නො දැරියයුතු ය යි භාග්යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. මට මේ අතිරේක පාත්රයෙක් උපන. මම ද මේ පාත්රය ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වෙසෙති. ම විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළහ.
3. “ආනන්දය, ශාරීපුත්ර තෙමේ කොපමණ කලකින් එන්නේ දැ?”යි. “භාග්යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දවසැ”යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙකරුණෙහි මේ ප්රස්තාවයෙහි දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දස දිනක් පරම කොට අතිරේක පාත්රයක් දරන්නට අනුදනිමි”. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“දස දිනක් පරම කොට ඇති කල් අතිරේක පාත්රයක් දැරිය යුතුයි. එය ඉක්මවන්නහුට නිසඟිපචිති වේ” යයි.
[දෙවන පැණවීමයි.]
4. දසාහපරමං යනු: දසදවසක් පරම කොට ඇති කල් දැරිය යුත්තේ ය.
අතිරේක පත්ත නම්: නො ඉටන ලදුයේ නො විකපන ලදුයේ යැ.
පත්ත නම්: පාත්ර දෙකෙකි: අයස්පාත්ර යැ මාත්තිකාපාත්ර යි. පාත්රයාගේ ප්රමාණයෝ තිදෙනෙකි: උත්කෘෂ්ටපාත්ර යැ මධ්යමපාත්ර යැ අවමකපාත්ර යි. උත්කෘෂ්ටපාත්රය නම්: සහල් දෙනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්ය ද ඊට අනුරූප වූ ව්යඤ්ජන ද ගණී. මධ්යමපාත්රය නම්: සහල් නැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්ය ද ඊට අනුරූප වූ ව්යඤ්ජන ද ගණී. අවමකපාත්රය නම්: සහල් අඩනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්ය ද ඊට අනුරූප වු ව්යඤ්ජන ද ගණී. එයින් උත්කෘෂ්ට වූයේ පාත්ර නො වෙයි. අවමක වූයේ පාත්ර නො වේ.
තං අතික්කයමාතො නිස්සග්ගියං පාචිත්තියං හොති යනු: එකොළොස් වන අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැජිය යුත්තේ ය: ඒ මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්ෂූන් පා වැඳ උළුලු වා හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මෙය මම සඟනට නිසජමි’යි නිසජා ඇවැත් දෙසිය යුතු ය. ප්රතිබල වූ ව්යක්ත මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු ය. නිසජන ලද පාත්රය දියයුත්තේ යි.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණහුගේ පාත්රය නිසඟි වූයේ සඟනට නිසදන ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝ තෙමේ මේ පාත්රය මෙනම් මහණහට දෙන්නේය”යි.
ඒ මහණහු විසින් බොහෝ භික්ෂූන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තාහ. “වහන්ස, මේ මාගේ පාත්රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ව්යක්ත වූ ප්රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු ය. නිසජන ලද පාත්රය දියයුත්තේ යි.
“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා” මේ මෙනම් මහණහුගේ පාත්රය නිසඟි වූයේ ආයුෂ්මතුන්ට නිසඳන ලදී. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් වේ නම් ආයුෂ්මත්හු මේ පාත්රය මෙනම් මහණහට දෙන්නාහ” යි.