5. 3. 10.
පරිණත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා සමාගමක් විසින් සඟනට වළඳවා සිවුරු දෙන්නෙමු’ යි, සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි. එකල්හි සවගමහණහු ඒ සමූහයා වෙත එළඹ ඒ සමූහයාට මෙසේ කීහ: “ඇවැත්නි, අපට මේ සිවුරු දෙව” යි. “වහන්ස, අපි නො දෙම්හ. අප විසින් සඟනට අවුරුදු පතා සිවුරු සහිත භික්ෂාව පිහිටුවන ලද්දීය.” “ඇවැත්නි, සඞ්ඝයාට දායකයෝ බොහෝ ය. සඞ්ඝයාට ලාභද්වාර බොහෝ ය. අපි තොප නිසා, තොප බලමින් මෙහි වසම්හ. ඉදින් තෙපි අපට නො දෙන්නහු නම් එකල්හි කවරෙක් අපට දෙන්නේ ද “ඇවැත්නි, මේ සිවුරු අපට දෙව” යි: එකල්හි ඒ ජනසමූහය සවග මහණුන් විසින් තර කොට කියනු ලබන්නේ පිළියෙළ කළ පරිදි සිවුරු සවග මහණුන්ට දී සඞ්ඝයා බතින් වැළඳවීය. යම් භික්ෂූ කෙනෙක් සඞ්ඝයාට සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලදැයි දනිත් ද, සවග මහණුන්ට දෙන ලදැයි නොදනිත් ද” ඔහු මෙසේ කීහ.
2. “ඇවැත්නි සඞ්ඝයාට සිවුරු පිරිකර දෙව” යි. “වහන්ස, නැත පිළියෙල කළ පරිදි සිවුරු සවග මහණහු තමන්ට පිරිණමා ගත්හ” යි. යම් අපිස් මහණහු කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු දැන දැන පිරිණමන ලද සඟසතු ලාභය තමහට පිරිණැමූහු දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු දැ”යි. “සැබව භාග්යවතුන් වහන්ස”. භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු ද, තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් දැන දැන සඟසතු පිරිණැමු ලාභය තමනට පිරිණමවන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ..
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
ජානත්ති නම්: තෙමේ හෝ දනියි. අන් කෙනෙක් හෝ ඔහුට දන්වත්. හෙ තෙමේ හෝ දන්වයි.
සඞ්ඝික නම්: සඞ්ඝයාට දෙන ලද්දේ පරිභෝග කරණ ලද්දේ වෙයි.
ලාභ නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬකුදු දාවළුහුයකුදු.
පරිණත නම්: දෙම්හ. කරම්හ’යි වාක් භේද කරණලද වේ.
4. තමහට පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතුය. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු “වහන්ස, මවිසින් සඟනට පිරිනැමූ සඟසතු ලාභය දැන දැන තමහට පිරිණමන ලද්දේ නිසඟි විය. “මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
5. පිරිණමන ලද්දෙහි පිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් නිසැඟි පචිති වෙයි. පිරිණමන ලද්දෙහි විමති ඇත්තේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පිරිණමන ලද්දෙහි නොපිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සඞ්ඝයාට පිරිණමන ලද්ද අන් සඟනට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සෑයකට පිරිණමන ලද්ද අන් සෑයකට හෝ සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පුඟුලක්හට පිරිණමන ලද්ද අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි පිරිණැමු සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නො පිරිණමන ලද්දෙහි නො පිරිණමන ලදැයි සන් ඇතියේ ඇවැත් නැති.