5. 3. 8.
අච්චෙකචීවර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා මහ ඇමතියෙක් ප්‍රවාසයට යන්නේ භික්‍ෂූන් වෙත දූතයකු යැවීය. වහන්දෑවරු වඩින සේක්වා වස්සාවාසිකයක් දෙන්නෙමි” යි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වස්විසූවන්ට වස්සාවාසිකය අනුදන්නා ලදැයි කුකුස් කරමින් නොගියාහු ය. ඉක්බිති ඒ මහඇමති තෙමේ හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් වහන්දෑවරු මා විසින් දූතයකු යැවූ කල්හි නො එද්ද” යි. මම සේනාව සමග යෙමි. ජීවත්වීම නො දත හැකි ය. මරණය නොදත හැකිය” යි. භික්‍ෂූහු හෙලා දකින නුගුණ පවසන දොස් පතුරුවන ඒ මහඇමතියාගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදනිමි” යි.
2. එසමයෙහි මහණහු භාග්‍යවතුන් වහන්සේ විසින් අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදන්නා ලදැයි. අතික් සිවුරු පිළිගෙණ චීවරකාල සමය ඉක්මවත්, ඒ සිවුරු චීවරවංසයෙහි බදබැඩි ව තිබේ. සේනාසන චාරිකාවෙහි හැසිරෙණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ චීවරවංසයෙහි බදබැඩි වූ ඒ සිවුරු දුටහ. දැක භික්‍ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, චීවරවංසයෙහි පොදි බැඳ තබන ලද මේ සිවුරු කවරක්හුගේ දැ”යි. “ඇවැත්නි අපගේ අතික් සිවුරු” යි. “ඇවැත්නි, මේ සිවුරු කෙතෙක් කල් තබන ලදදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තැබූපරිදි සැළ කළහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවති. “කෙසේ නම් භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්දැ”යි. ඉක්බිති ආනන්‍ද තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ.
3. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි කෙසේ නම් ඒ තුච්ඡපුරුෂයෝ, අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද” “මහණෙනි තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“දසදිනකින් නො පත් වප්මස මැදි පොහොය තෙක් මහණහට අතික් සිවුරක් උපන්නේ නම් ඉක්මන් බව හඟනා මහණහු විසින් පිළිගත යුතුය. පිළිගෙණ චීවරකාලසමය තෙක් තැබිය යුතුය. ඉදින් ඉන් මත්තෙහි තබන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
4. දසාහානාගතං යනු: පවාරණය දසදිනකින් නො පත් කල්හි.
කත්තිකතෙමාසිකපුණ්ණමං යනු: වප්මස පවුරුණු පණුරැස කියනු ලැබේ.
අච්චෙකචීවර නම්: සේනාව සමග යනු කැමැත්තේ හෝ වෙයි. බැහැර විසීමට යනු කැමැත්තේ හෝ වෙයි. ගිලනෙක් හෝ වෙයි. ගැබිණියක් හෝ වෙයි. සැදැහැ නැත්තකුට සැදැහැ උපන්නේ හෝ වෙයි. නො පහන් වූවකුට පහන්බව උපන්නේ හෝ වෙයි. ඉදින් හෙ තෙම භික්‍ෂූන් වෙත “වහන්දෑවරු වඩිත්වා වස්සාවාසිකය දෙන්නෙමි” යි දූතයකු එවා නම් මේ අච්චෙකචීවර නමි.
අච්චෙකං මඤ්ඤමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං පටිග්ගහෙත්‍වා යාව චීවරකාලසමයං නික්ඛිපිතබ්බං යනු: මේ අතික් සිවුරයයි සලකුණු කොට තැබිය යුතුයි.
චීවර කාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වැසි සාරමස පිළිබඳ පැසුළු මසයි. කෙළින් අතුළ කල්හි පස්මසකි.
තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය යනු: කෙළින් නො අතුළ කල්හි වැසිසාරමස පිළිබඳ පැසුළු දින ඉක්ම වා නම් නිසඟිපචිති වෙයි. කෙළින් අතුළකල්හි කෙළින් උදුරණ දිනය ඉක්මවා නම් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසැජිය යුතු ... “වහන්ස, මගේ මේ අතික් සිවුර චීවරකාලසමය ඉක්මවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
5. අතික් සිවුරෙහි අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. අතික් සිවුරෙහි විමති ඇත්තේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟි පචිති වෙයි. අතික් සිවුරෙහි නො අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ. නොඉටන ලදුයෙහි ඉටන ලදැයි සන් ඇතියේ ... නොවිකපන ලදුයෙහි විකපන ලදැයි සන් ඇතියේ නොවිසජන ලදුයෙහි විසජනලදැ යි සන් ඇතියේ නොනටුයෙහි නටැයි සන් ඇතියේ , නොවැනැසුනෙහි වැනැසි නැ’යි සන් ඇතියේ නොදැවුනෙහි දැවිනැ’යි සන් ඇතියේ නොපැහැර ගන්නා ලදුයෙහි පැහැර ගන්නා ලදැ’යි සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ.