5. 3. 7.
මහාපෙසකාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් ප්රවාසයට යන්නේ බිරිඳට මෙය කීය: “හූ තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළිය වියවා තබව. පෙරළා ආයෙම් උපනන්ද හිමියන් සිවුරින් පුදන්නෙමි” යි. එක්තරා පිණ්ඩචාරික මහණෙක් කියන්නා වූ ඒ පුරුෂයාගේ මෙතෙපුල් ඇසී ය. ඉක්බිති ඒ මහණ තෙමේ උපනන්ද ශාක්ය පුත්රයන් වෙත එළඹ මෙය කීය: “ඇවැත් උපනන්දයෙනි, තෙපි මහ පිනැත්තහුය. අසුවල් තැන එක්තරා පුරුෂයෙක් ප්රවාසයට යන්නේ බිරිඳට මෙය කීය. “නූල් තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළියක් වියවා තබව. පෙරළා ආයෙම් සිවුර උපනන්ද හිමියන් පුදන්නෙමි’යි. “ඇත ඇවැත්නි, හේ මට උපස්ථායකයැ” යි. ඒ පෙහෙර තෙමේ ද ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ ඒ උපස්ථායකයා වෙත එළඹ පෙහෙරාට මෙය කීය. “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, සමව වියන ලද්දක් ද, සමව නූල් එළා වියන ලද්දක් ද, මනා හිරි අඳින ලද්දක් ද, කොස්සෙන් පිරිසිදු කරණ ලද්දක් ද කරව” යි. “වහන්ස, මොහු මට මේ හුයින් සිවුරු පිළියක් වියවයි හූ පමණ කොට දුන්හ. වහන්ස, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නො හැකිය. “වහන්ස, සුචිත ද, සුප්පවායිත ද සුවිලේඛිත ද සුචිතච්ඡිත ද කරන්නට හැකි වෙයි.” “ඇවැත, එසේ නම් තෝ දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, කරව. තට හුයින් අඩුවෙක් නොවන්නේ ය.”
3. ඉක්බිති ඒ පෙහෙර තෙමේ ගෙණා පමණ හූ යන්ත්රයෙහි එළවා ඒ ස්ත්රිය වෙත එළඹ මෙය කීය. “ආර්ය්යාවෙනි, හුයින් ප්රයෝජන ඇතැ”යි. “ආර්ය්යාවෙනි, මේ හුයින් සිවුරක් වියව’ යි තෙපි මා විසින් කියන ලද්දහු නො වේ ද?” “සැබව ආර්ය්යාවෙනි, තොප විසින් මේ හුයින් සිවුරක් වියව’යි කියන ලද්දෙමි” යි. එතකුදුවුවත් උපනන්ද ස්වාමීහු මට මෙය කීහ. “ඉදින් ඇවැත තෝ දිග ද පුළුල ද ඝන ද කරව, තට හුයින් අඩුවෙක් නො වන්නේය” යි. ඉක්බිති ඒ ස්ත්රී තොමෝ යම් පමණ හූ පළමුව දුන්නී ද, පසුව ද එපමණ දුන්නීය.
4. ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ ඒ පුරුෂයා බැහැර සිට ආයේයයි ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ ඒ පුරුෂයාගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හුන්හ. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන් වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීයේය. ඒ සිවුරුපිළිය වියවන ලදදැ”යි. “එසේ ය හිමියනි, ඒ සිවුරු පිළිය වියවන ලද්දේය’ යි. “ගෙණ එව. උපනන්ද හිමියන් සිවුරින් පුදන්නෙමි”යි. ඉක්බිති ඒ ස්ත්රී තොමෝ ඒ සිවුරුපිළිය ගෙණවුත් සැමියාට දී මේ පවත් දැන්වූවාය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයාහට සිවුරුපිළිය දී හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ ශ්රමණ ශාක්යපුත්රයෝ මහත් ආශා ඇත්තෝය. ලද දෙයින් සතුටු නො වන්නෝය. මොහු සිවුරකින් පුදන්නට පහසු නො වෙත්. “කෙසේ නම් උපනන්ද හිමියෝ මවිසින් පෙර නො පවරණ ලද්දාහු පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියාහු දැ”යි.
5. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරවති. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ පෙර නොපවරණ ලද්දාහු ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරුපිළියෙහි අධික විධානයට පැමිණියාහු දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද උපනන්දය, තෝ පෙර නො පවරණ ලද්දෙහි ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි දැ”යි. “සැබව, භාග්යවතුන් වහන්ස.” “උපනන්දය හේ තාගේ නෑයෙක් ද? නො නෑයෙක් ද?” “භාග්යවතුන් වහන්ස, නො නෑයෙකි.” “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයකුගේ සුදුසුබව හෝ නුසුදුසු බව හෝ ඇතිබව හෝ නැතිබව හෝ නො දනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ පෙර නො පවරණ ලද්දෙහි නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි ය. “තුච්ඡපුරුෂය, තෙල නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“මහණකු උදෙසාම නොනෑ ගැහැවියෙක් හෝ ගිහිනියක් හෝ පෙහෙරුන් ලවා සිවුරුපිළියක් වියවා නම් එකල්හි ඒ මහණ තෙමේ පෙර නො පවරණ ලද්දේ පෙහෙරුන් වෙත එළඹ ඉදින් සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්: ‘ඇවැත්නි, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග් වූවක් ද පුළුල් වූවක් ද ඝන වූවක් ද කරවු. මනාකොට වියන ලද්දක් ද සමකොට හූ අතුරා වියන ලද්දක් ද මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු. ඉදින් අපිදු ආයුෂ්මත්හට කිසිවක් දෙන්නමෝ නම් යෙහෙකැ’යි. ඒ මහණ තෙමේ මෙසේ කියා යටත් පිරිසෙයින් ස්වල්පමාත්රවූ ද පිඬුපමණකුදු දේ නම් නිසඟිපචිති වේ” යයි.