5. 3. 6.
සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩවසන සේක. තවද එසමයෙහි සවග මහණහු සිවුරු කරණ කාලයෙහි බොහෝ හූ විනවූහ. සිවුර නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි විය. ඉක්බිති සවග මහණුන්ට මේ සිත විය: “ඇවැත්නි, ඉදින් අපි වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවමෝ නම් මනා යැ” යි. ඉක්බිති සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. දෙවනවට ද සවගමහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හිදු බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. තෙවනවට දු සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. මිනිස්සු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රයෝ තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහුදැ”යි.
2. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවද්දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියැවුහු දැ’යි. “සැබැව, භාග්යවතුන් වහන්ස” යි. භාග්යවත් බුදුරජාණන් වහන්සේ නින්දා කළ සේක: “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් සිවුරු පිණිස හූ විනවා පෙහෙරුන් ලවා සිවුරු පිළියක් වියවා නම් නිසඟිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ කරුණෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලද්දේයි.
සාමං යනු: තෙමේ ඉල්ලා ගෙණය.
සුත්ත නම්: “කොමුවැහැරියෙන් කළ හූ ය, කපුයෙන් නිපන් හූ ය, තිහිරියෙන් කළ හූ ය, එළුලොමින් කළ හූය, හණවැහැරියෙන් කළ හූ ය, මේ පස මුසුකොට කළ හූ ය”යි සවැදෑරුම් හූය.
තන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා වියවා නම් පියොවක් පාසා දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතු යි. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු යි: “වහන්ස, මවිසින් මේ සිවුරු පිළිය තමා ම හූ විනවා පෙහෙරුන් ලවා වියවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය’යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
4. වියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි විමති ඇත්හේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි නො වියවන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ.
5. නොවියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ දුකුළා ඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි නොවියවන ලදැ යි සන් ඇතියේ ඇවැත් නැති.
6. සිවුරු මැහීම පිණිස ද, ආයෝගපට්ටය, කායබන්ධය, අංසවට්ටකය, පත්තත්ථවිකාය, පරිස්සාවනය යන මේ නිමිති කොට හූ විනවන්නහූට ද, ඥාති භික්ෂූන්ට ද, පවරණු ලැබුවනට ද, අනෙකක්හු සඳහා ඉල්වන්නහු ට ද, සිය ධනයෙන් ගන්නහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැති.
සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපදය නිමි.
5. 3. 7.
මහාපෙසකාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් ප්රවාසයට යන්නේ බිරිඳට මෙය කීය: “හූ තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළිය වියවා තබව. පෙරළා ආයෙම් උපනන්ද හිමියන් සිවුරින් පුදන්නෙමි” යි. එක්තරා පිණ්ඩචාරික මහණෙක් කියන්නා වූ ඒ පුරුෂයාගේ මෙතෙපුල් ඇසී ය. ඉක්බිති ඒ මහණ තෙමේ උපනන්ද ශාක්ය පුත්රයන් වෙත එළඹ මෙය කීය: “ඇවැත් උපනන්දයෙනි, තෙපි මහ පිනැත්තහුය. අසුවල් තැන එක්තරා පුරුෂයෙක් ප්රවාසයට යන්නේ බිරිඳට මෙය කීය. “නූල් තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළියක් වියවා තබව. පෙරළා ආයෙම් සිවුර උපනන්ද හිමියන් පුදන්නෙමි’යි. “ඇත ඇවැත්නි, හේ මට උපස්ථායකයැ” යි. ඒ පෙහෙර තෙමේ ද ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ ඒ උපස්ථායකයා වෙත එළඹ පෙහෙරාට මෙය කීය. “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, සමව වියන ලද්දක් ද, සමව නූල් එළා වියන ලද්දක් ද, මනා හිරි අඳින ලද්දක් ද, කොස්සෙන් පිරිසිදු කරණ ලද්දක් ද කරව” යි. “වහන්ස, මොහු මට මේ හුයින් සිවුරු පිළියක් වියවයි හූ පමණ කොට දුන්හ. වහන්ස, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නො හැකිය. “වහන්ස, සුචිත ද, සුප්පවායිත ද සුවිලේඛිත ද සුචිතච්ඡිත ද කරන්නට හැකි වෙයි.” “ඇවැත, එසේ නම් තෝ දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, කරව. තට හුයින් අඩුවෙක් නොවන්නේ ය.”