5. 3. 5.
චීවරඅච්ඡින්දන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර තෙමේ බෑයාගේ සද්ධිවිහාරික මහණක්හට මෙය කී ය. “එව ඇවැත්නි, ජනපදචාරිකාහි යම්හ” යි. “වහන්ස මම නො යන්නෙමි. දුඹුල් සිවුරු ඇත්තෙමි” යි. “එව ඇවැත්නි, මම තට සිවුරක් දෙන්නෙමි” යි ඔහුට සිවුරක් දිනි. ඒ මහණ තෙමේ “භාග්යවතුන් වහන්සේ ජනපද චාරිකායෙහි වඩනාහ” යි ඇසී ය. ඉක්බිති ඒ මහණහට මේ සිත විය: “මම දැන් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන් හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමි” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර තෙමේ ඒ මහණහට මෙය කීය: “එව ඇවැත්නි, දැන් ජනපද චාරිකායෙහි යම්හ” යි. “වහන්ස, මම නුඹ හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමැ” යි. “ඇවැත්නි, මම තට සිවුරක් දිනිම් ද එය මා හා සමග ජනපද චාරිකායෙහි යන්නේ යයි (සිතා) දිනිමි” යි කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ ය.
2. ඉක්බිති ඒ මහණ තෙමේ භික්ෂූන්ට මෙ පවත් දැන්වී ය. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවති. “කෙසේ නම් උපනන්ද ශාක්යපුත්ර තෙමේ මහණහට තෙමේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? උපනන්දය තෝ මහණකු ට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. “සැබව, භාග්යවතුන් වහන්ස.” භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “තුච්ඡපුරුෂය,කෙසේ නම් තෝ මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගත්තේ ද?” “තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
”යම් මහණෙක් මහණකුට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගණීනම් හෝ අසිඳැ ගන්වන්නේ නම් හෝ නිසඟි පචිති වේ” යයි
3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
භික්ඛුස්ස යනු: අන් මහණකුට ය.
සාමං යනු: තෙමේ ම දී.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරකි.
කුපිතෝ අනත්තමනෝ යනු: නොපහන්වූයේ, ක්රෝධයෙන් ගැටුනු සිත් ඇත්තේ, හටගත් කෙලෙස් කණු ඇත්තේ.
අච්ඡින්දෙය්ය යනු: තෙමේ අසිඳැ ගණී නම් නිසඟිපචිති වේ.
අච්ඡින්දාපෙය්ය යනු: අනෙකකු අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අණවන ලද්දේ බොහෝ දෙයක් අසිඳ ගණී නම් නිසඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසජිය යුතු යි. මහණෙනි, මෙසේ නිසදිය යුතු යි: “වහන්ස, මගේ මේ සිවුර මහණකුට තමාම දී අසිඳැ ගන්නා ලද්දේ නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
4. උපසපන් මහණකු කෙරෙහි උපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වෙයි. උපසපන් මහණකු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටුවූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වේ.
5. අන් පිරිකරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනකුට සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි.
6. හේ තෙමේ හෝ දේ නම්, ඔහුට විස්වස් ඇත්තේ හෝ ගණී නම්, (ඔවුනට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැත්තේ යි.
චීවරඅච්ඡින්දන ශික්ෂාපදය නිමි.