5. 3. 2.
ඌනපඤ්චබන්ධන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ ශාක්යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා කුඹල්කරුවකු විසින් භික්ෂූහු පවරණ ලද්දාහු වෙත්. “යම් ආර්ය්යයන් වහන්සේ කෙනකුන්ට පාත්රයෙන් ප්රයෝජන වේ නම් මම පාත්රයෙන් පවරමි’යි. එසමයෙහි මහණහු පමණ නො දැන බොහෝ පා විනවත්. යම් කෙනෙකුන්ගේ කුඩා පාත්රයෝ වෙද්ද, ඔහු මහත් පා විනවත්. යම් කෙනෙකුන්ගේ මහත් පාත්රයෝ වෙද්ද, ඔහු කුඩා පා විනවත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්ෂූන්ට බොහෝ පාත්ර ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙති. මිනිස්සු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ පමණ නො දැන බොහෝ පා විනවද්ද
මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙතැ’යි. මහණහු හෙලා දකින නුගුණ පවසන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් මහණහු පමණ නො දැන බොහෝ පා විනවුහුදැ’යි.
2. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑද, මහණෙනි, භික්ෂූහු පමණ නො දැන බොහෝ පා විනවද්දැ”යි. “සැබව භාග්යවතුන් වහන්ස.” භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, පමණ නො දැන බොහෝ පා විනවූහු ද, මහණෙනි, එය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්රයෙක් විනවා නො ගත යුතුය. යමෙක් විනවා නම් දුකුළා ඇවැත් වේ” යයි.
3. එසමයෙහි එක්තරා මහණක්හුගේ පාත්රය බිඳුනේ වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ ‘භාග්යවතුන් වහන්සේ විසින් පාත්රය විනවා ගැනීම පිළිකෙව් කරණ ලදැ’යි කුකුස් කරන්නේ නො විනවයි. අතින් පිඬුසිඟා යෙයි. මිනිස්සු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ අන් තොටුවන් සේ අතින් පිඬු සිඟා හැසිරෙත් දැ”යි. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. ඉක්බිති භික්ෂූහු භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළාහු ය. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදනිමි” යි.
4. එසමයෙහි සවග මහණහු ‘භාග්යවතුන් වහන්සේ විසින් නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදන්නා ලදැ’යි ඒ මහණහු මඳක් බුන් පමණකිනුදු, මඳක් කැඩුනු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනුදු, බොහෝ පා විනවා ගණිත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්ෂූන්ට එසේ ම් බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණියයුතු බඩුවක් කරන්නට නොහැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසත්. මිනිස්සු එසේ ම හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයෝ පමණ නො දැන බොහෝ පා විනවා ගණිත් ද, මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් වෙහෙසෙතැ”යි.
5. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් සවග මහණහු මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවද්දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවු ද?” යි. “සැබැව, භාග්යවතුන් වහන්ස.” භාග්යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවුද?” “තුච්ඡපුරුෂයෙනි, තෙල නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”