5. 3. 3.
භේසජ්ජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්රයෝජන දැ”යි “මහරජ භාග්යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේ ය මහරජැ” යි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ (කුසල් දහම්හි) සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
2. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූහ: “වහන්ස මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. “වහන්ස මවිසින් කෙසේ පිළිපැදියයුතුදැ”යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි. දෙවනවට ද මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවන්ට මෙය සැළ කෙළේය. “වහන්ස භාග්යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ”යි. “එසේය මහරජැ’ යි. “වහන්ස එසේ වී නම් හිමියනට ආරාමිකයකු දෙමි’ යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවන්ට ආරාමිකයකු දීමට ගිවිස නො සිහිකොට කලකින් සිහි එළවා හැම කාරියෙහි යුත් එක්තරා මහඇමැතියකු ඇමැතීය. “තෙල මා විසින් හිමියනට යම් ආරාමිකයෙක් ගිවිස්නා ලද්දේ නම් ඒ ආරාමික තෙම දෙන ලද්දේදැ’යි. “දේවයන්වහන්ස හිමියනට ආරාමිකයෙක් නො දෙන ලදැ’යි. “කොල එය මෙයින් කෙතෙක් කල් ඉක්ම ගියේ දැ’යි. ඉක්බිති මහාමාත්ය තෙමේ දවස් ගැණ මගධාධිපති සේනිය මිබ්සර රජහට මෙය සැළ කෙළේය. “දේවයන් වහන්ස පන්සියක් දවසැ’යි. “කොල එසේ වී නම් හිමියනට ආරාමිකයන් පන් සියයක් දෙව’ යි. “එසේය දේවයන් වහන්සැ’ යි ඒ මහඇමැති තෙමේ මගධාධිපති සේනිය බිම්සර රජහට පිළිවදන් දී ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්හට ආරාමිකයන් පන්සියයක් දුනි. වෙන ම ගමෙක් පිහිටියේ ය. එය ආරාමිකගම’යි කීහ, එය පිලින්දිගම” යි ද කීහු.
3. එසමයෙහි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ ඒ ගමෙහි කුලුපග වූයෙක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පිලින්දිගමට පිඬු පිණිස පිවිසියේ ය. ඒ කල්හි ඒ ගමෙහි උත්සවයෙක් වෙයි. දරුවෝ අබරණින් සදන ලද්දාහු මල්දමින් සදන ලද්දාහු ක්රීඩා කෙරෙත්.
4. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ පිලින්දිගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ නිවෙස්න වෙත එළඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. එසමයෙහි ඒ ආරාමික බිරිඳගේ දියැනි තොමෝ අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදනලදුවන් දැක මට මල්දමක් දෙව, මට පළඳනාවක් දෙව’ යි හඬා. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ ඒ ආරාමික බිරිඳට මෙය කීය: ‘කුමකට මේ දැරිය හඬා දැ’යි. වහන්ස, මේ දැරිය අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදන ලදුවන් දැක ‘මට මල්දමක් දෙව’ මට පළඳනාවක් දෙව’ යි හඬා. දුගී අපට මල්දම් කොයින් ද? අබරණ කොයින් දැ?”යි. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ එක්තරා තණසුඹුළුවක් ගෙණ ඒ ආරාමික බිරිඳට මෙය කී ය: ‘ඉඳ මේ තණසූඹුළුව ඒ දැරියගේ හිසෙහි පළඳව යි. ඉක්බිති ඒ ආරාමිකයාගේ බිරිඳ ඒ තණසුඹුළුව ගෙණ ඇගේ හිසෙහි පැළඳවූ ය. එය මනාරූ ඇති දැකුම්කලු ප්රසාද එළවන ස්වර්ණමාලාවක් වූ ය. රජුගේ ඇතොවුරෙහි එබඳු ස්වර්ණමාලායෙක් නැති. මිනිස්සු මගධේශ්වර සේනිය බිම්බිසාර රජහට දැන්වූහ: “දේවයන් වහන්ස, අසුවල් ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කළලු ප්රසාද එළවන ස්වර්ණමාලායෙක් ඇත. දේවයන් වහන්සේගේ ඇතොවුරෙහි දු එබඳු ස්වර්ණමාලායෙක් නැති. ඒ දුගීපුරුෂයාහට කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ඒ ආරාමික කුලය සිර කරවී ය.
5. දෙවනවට ද ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙම පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිලින්දිගමට පිඬු පිණිස පිවිසියේ ය. පිලින්දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙණුයේ ඒ ආරාමිකයාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ එක්බිති ගෙහි මිනිසුන් විචාළේ ය: “මේ ආරාමික කුලය කොහි ගියේ දැ?” යි. “වහන්ස, තෙල ස්වර්ණමාලාව නිසා රජු විසින් බඳවන ලදැ”යි.
6. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙම මගධාධිපති සේනිය බිම්බිසාර රජුගේ නිවෙස්න කරා එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන්නේ ය. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මගධාධිපති සේනිය බිම්බිසාර රජහට ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ මෙය කීහ: “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවනලද දැ”යි. “වහන්ස, ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කලු ප්රසාද එළවන ස්වර්ණමාලායෙක් ඇත. එබඳු ස්වර්ණමාලායෙක් අපගේ ඇතොවුරෙහිදු නැති. ඒ දුගී පුරුෂයහට කොයින් ද? එකත්නෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහුගේ ප්රාසාදය රන්මුවා වේවා යි ඉටූහ. හේ සියල්ල රන්මුවා විය. “මහරජ, තොපට මේ මෙතෙක් බොහෝ රන් කොයින් දැ?”යි. “වහන්ස, හේ හිමියන්ගේ ම ඍද්ධ්යානුභාවයෙකැ යි දන්නා ලදැ” යි ඒ ආරාමික කුලය මිදැවී ය.