5. 2. 9.
රූපියසංවෝහාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට (රන් රිදී මසු කහවණු ගණුදෙනුවට) පැමිණෙත්. මිනිස්සු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්. “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් නන්වැදෑරුම් වූ රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. භික්ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන් බස් ඇසූහ: යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුන් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑ ද මහණෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු දැ”යි. “සැබව, භාග්යවතුන් වහන්ස,” භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු ද, “තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු.”
“යම් මහණෙක් නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණේ නම් හෝ නිසඟිපචිති වේ” යයි.
2. යෝපන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂුයයි අදහස් කරණ ලදී.
නානප්පකාරක නම්: කෘතය ද අකෘතය ද කෘතාකෘතය ද වෙයි. කත නම්: ශීර්ෂාභරණ යැ ගීවාභරණ යැ හස්තාභරණ යැ පාදාභරණ යැ කට්යාභරණ යි. අකත නම්: පිඬු කළ අමුරන් කියනු ලැබේ. කතාකත නම්: ඒ දෙක යි.
රූපිය නම්: රත්රන් ය, කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුය, යමක් ගණුදෙනුවට පැමිණේ නම් ඒ යැ.
සමාපජ්ජෙය්ය යනු: කෘතයෙන් කෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් අකෘතය ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් කෘතාකෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. අකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. (නිසඟි වූ වත) සඟමැද නිසැජියයුතු. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය. ඒ මහණහු විසින් සඟ වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය.
“වහන්ස, මම නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියෙමි. මගේ මේ රූපියය (රන් රිදී මසු කහවණු) නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි. නිසදා ඇවැත් දෙසිය යුතු. ව්යක්ත වූ ප්රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුය. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් “ඇවැත මෙය දනැ” යි හේ කියයුත්තේ ය. ඉදින් හෙතෙමේ ‘මින් කුමක් ගෙණ ආ යුතු දැ’යි කියා නම් ‘මෙනම් මෙනම් දැය ගෙණෙව’යි නො කියයුත්තේ ය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී පැණි හෝ කැපවූවක් කියයුතුය. ඉදින් හෙතෙම ඒ රූපියයෙන් පෙරළි කොට කැප දෙයක් ගෙණේ නම් රූපියය ගණුදෙනු කළහු තබා සියල්ලන් විසින් ම වැළඳිය යුතුය. මෙසේ මෙය ලැබේ නම්, ඒ ලැබීම මැනව. ඉදින් නො ලැබේ නම්, හෙතෙමේ “ඇවත මෙය බැහැර ලව” යි හේ කිය යුත්තේ ය. ඉදින් හෙතෙමේ එය බැහැර ලා නම් තෙල බැහැර ලීම මැනවි. ඉදින් බැහැර නො ලා නම් පසඟින් සමන්විත රූපියඡඩ්ඩක මහණ සම්මත කළ යුත්තේ ය. “යමෙක් ඡන්දාගතියට නොයේ නම්, දෝසාගතියට නො යේ නම්, මෝහාගතියට නො යේ නම්, භයාගතියට නො යේ නම් බැහැර ලූ නො ලූ දැය දනී නම් එබන්දෙකි.” තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය. පළමුව මහණ තෙම යැදිය යුත්තේ ය. යැද ව්යක්ත වූ ප්රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:”
“වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත් නම් සඞ්ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ‘ඤත්ති’යයි.
වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. සඞ්ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට රූපියඡඩ්ඩකසම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණ රූපියඡඩ්ඩක කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. තෙල මෙසේ ධරමි” යි.
3. සම්මතය ලත් මහණහු විසින් නිමිති රහිත කොට ඉවත ලියයුතු ය. ඉදින් නිමිති කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ.