කෝසිය වර්ගය
5. 2. 1.
කෝසිය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවතුන් වහන්සේ අළවුනුවර අසල අග්ගාළව දෙවොලෙහි වැඩ වසන සේක. එසමයෙහි වූ කලි සවගමහණහු තිහිරිහූ නිපදවන්නන් වෙත එළඹ “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි ද තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි මෙසේ කියත්. ඒ මිනිස්සු “ශාක්යපුත්රීය මහණහු අප වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි දු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියත් ද? යම් බඳු අපි ජීවිකා හේතුයෙන් අඹුදරුවන් රක්නා කරුණින් බොහෝ කුඩා පණුවන් මරණයට පමුණුවමෝ ද ඒ අපට ද අලාභයෙකි: අපගේ ද අභාග්යයෙකි.” යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. භික්ෂූහු අවමන් කරන අයුණු කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් ද? ඔහු “කෙසේ නම් සවග මහණහු තිහිරිහූ නිපදවන්නවුන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි කියත් දැ’ යි යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ ... “සැබව, භාග්යවතුන් වහන්සැ” යි ඔහු කීහ. භාග්යවතුන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් තිහිරිහූ නිපදවන්නවුන් කරා එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ ද උදෙසවු:
“යම් මහණෙක් තිහිරිහූ මුසු ඇතිරියක් කරවන්නේ නම් නිසඟි පචිති වේ.”
2. යො පන යනු යම්, යම් බඳු
භික්ඛු (මහණෙක්) යනු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂු යයි අභිප්රේතය.
සන්ථත (ඇතිරිය) නම්: අතුරා වියුම් රහිත කොට කරණ ලද්ද වෙයි.
කාරාපෙය්ය (කරවන්නේ නම්) යනු එක් තිහිරි කෙන්දකිනු දු මුසු කොට කෙරෙයි නම් හෝ කරවයි නම් හෝ පියාවෙහි දුකුළා වේ. ලබා ගැන්මෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයා හට හෝ පුඟුල් හට හෝ නිසජිය යුතු “වහන්ස, මා විසින් තිහිරිහූ මුසු මේ නිසජිය යුතු ඇතිරියෙක් කරවන ලද්දේ ය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
3. තමා විසින් කොට අඩාළ (ඇතිරිය) තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් කොට අඩාළ දැය අනුන් ලවා නිමවා ද, මෙරමා විසින් කොට අඩාළ දැය තෙමේ නිමවා ද නිසැඟි පචිති වේ. මෙරමා කොට අඩාළ දැය මෙරමා ලවා නිමවා ද නිසැඟි පචිති වේ. අනෙකක්හු පිණිස කෙරේ ද කරවා ද, දුකුළාඇවැත් වේ. අනෙකකු කළ ඇතිරියක් ලැබගෙන පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද, ඔහුට ද උමතුවාහට ද ආදිකාර්මිකහට ද ඇවැත් නො වේ.
කෝසිය ශික්ෂාපදය නිමි.
5. 2. 2.
ශුද්ධකාලක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු එය දැක, “කෙසේ නම් ශාක්යපුත්රීය ශ්රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවද්දැ”යි අවමන් කරත්, අයුණු කියත්, දොස් පතුරුවත්. භික්ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු “කෙසේ නම් සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්දැ!”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු දැ?” යි භාග්යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්යවතුන්වහන්සැ” යි ඒ මහණහු කීහ. භාග්යවතුන් වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවා නම් නිසැඟි පචිති වෙයි.”
2. යො පන යනු යමෙක්, යම්බඳු වූ ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂු ය යි අදහස් කරණ ලදී.
කාළක නම්: උත්පත්තියෙන් කළු වූයේ රඳන් පෙවීමෙන් කළු වූයේ දැ යි කළු පැහැය දෙවැදෑරුම් වෙයි.
සන්ථත නම්: අතුරා කරණ ලද, නොවියන ලද.