5. 2. 10.
කයවික්කය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙමේ සිවුරුකම් කරන්නට සමත් වූයේ වෙයි. හේ මහලු පටකඩින් සඟළක් කොට මොනොවට රඳන ලද්දක් මොනොවට රඳා පිරියම් කරණ ලද්දක් කොට පෙරෙවි ය. ඉක්බිති එක්තරා පිරිවැජියෙක් මහඟු පිළියක් පෙරෙව ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ උපනන්‍දශාක්‍යපුත්‍රයනට මෙය කීය. “ඇවත, තොපගේ මේ සඟළ සොඳුරුය. මගේ පිළියෙන් පෙරළි කොට දෙව” යි. “ඇවත විමසා ගණැ”යි. එසේය “ඇවත දනිමි” යි “එසේ නම් ගණැ”යි දුන්නේය. එකල්හි ඒ පිරිවැජි තෙමේ ඒ සඟළ පෙරව පිරිවැජිඅරමට ගියේය. පිරිවැජියෝ ඒ පිරිවැජියාහට මෙය කීහ. “ඇවැත, තාගේ මේ සඟළ සොඳුරූය. කොයින් ලබන ලදදැ”යි. “ඇවැත්නි, මා විසින් ඒ පිළියෙන් පෙරළි කොට ගන්නා ලදැ”යි. “තාගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද? තාගේ ඒ වස්ත්‍රය ම උතුමැ’ යි.
2. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ පිරිවැජියෝ සැබවක් කීහ. “මගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද, මගේ ඒ වස්ත්‍රය ම උතුමැ”යි. ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ මෙය කීය. “ඇවැත්නි, තාගේ සඟළ ගණුව මගේ වස්ත්‍රය දෙව” යි. “ඇවැත්නි, තෝ මා විසින් විමසා ගණැ”යි කියන ලද්දේ නො වෙහි ද?” “මම නො දෙමි”යි.
3. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ අවඥා කෙරෙයි නුගුණ කියයි දොස් පහළ කෙරෙයි: ගිහියා පවා පසුතැවිලි වන ගිහියාට එය දෙයි. “කුමක්හෙයින් පැවිද්දෙක් පැවිද්දාට නොදෙන්නේද” යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පිරිවැජියාගේ තෙපුල් ඇසූහ. යම් අපිස්වූ මහණ කෙනෙක් වෙද්ද ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ පිරිවැජියකු සමග කයවික්කයට ගණුදෙනුවට පැමිණියාහු දැ?යි”. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, උපනන්‍දය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි”. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් නන්වැදෑරුම් ගණුදෙනුවටට පැමිණේ නම් නිසඟිපචිති වේ” යයි.
4. යෝපන යනු: යමෙක් යම්බඳු වූයෙක් ..
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’යි අදහස් කරණ ලදී.
නානප්පකාරක නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬුකුදු දාවලු හුයකුදු.
කායවීක්කයං සමාපජ්ජෙය්‍ය යනු: මෙයින් මෙය දෙව. මෙයින් මෙය ගෙණෙව. මෙයින් මෙය පෙරළි කරව. මෙයින් මෙය විකොට ගෙණෙව’යි සිකපද මඩී නම්, දුකුළාඇවැත් වේ. යම් කලෙක දෙනු ලදත් ගන්නා ලදත් වේ ද තමන් අයත් බඩු පර අත් ගියේ ද මෙරමා අයත් බඩු තමා අතට ගියේ ද, එකල්හි නිසඟි වේ. සඞ්‍ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතුය. තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු:

“වහන්ස, මම නන්වැදෑරුම් කයවික්කයට පැමිණියෙමි. මාගේ මෙය නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ’ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
5. විනිමයෙහි විනිමය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විමති ඇත්තේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විනිමය සන් නැතියේ නිසඟිපචිති වේ. විනිමය නො වූයෙහි විනිමය ය යන සන් ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විනිමය නො වූයේය යන සන් ඇතියේ ඇවැත් නැති.
6. අගය විචාර නම්, කැපකරුහට කියා නම්, මෙනම් දෙයක් අපට ඇත, අපට මේ මේ දෙයින් ප්‍රයෝජනයයි කියා නම්, උමතු වූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
කායවික්කය ශික්‍ෂාපදය නිමි.
දෙවන කෝසිය වගයි.
එහි උද්දානය:
කෝසිය සිකපදය, සුද්ධකාලක සිකපදය, ද්වේභාග සිකපදය, ඡබ්බස්ස සිකපදය, නිසීදන සිකපදය, සන්‍ථත සිකපදය, එළකලෝම ධෝවන සිකපද දෙකය, රූපිය, රූපියසංවෝහාර සිකපද දෙකය, කයවික්කය සිකපදයයි දසයකි.