5. 2. 8.
රූපිය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර තෙමේ රජගහනුවර එක්තරා කුලයක්හුගේ කුලුපගවූයේ නිච්චභත්තික වෙයි. ඒ කුලයෙහි කෑ යුතු හෝ බුදිය යුතු යමක් උපදී නම් ඉන් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන්ගේ කොටස තබනු ලැබේ. එකල්හි ඒ කුලයෙහි සවස මසක් උපන්නේ වෙයි. එයින් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන්ගේ කොටස තබන ලද්දේ වෙයි. එකුලෙහි දරුවෙක් රෑ අලුයම නැගිට “මට මස් දෙවයි” යි හඬයි. ඉක්බිති ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීය. “ආර්ය්යයන් වහන්සේගේ කොටස දරුහට දෙව. අන් මසක් විකොට ගෙණ ආර්ය්යයන් වහන්සේට දෙන්නෙමු” යි. ඔහුට එය දුනි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර තෙමේ පෙරවරු හැඳ පොරවා පාසිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹ පැණවූ අසුන්හි හුන්නේය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ උපනන්ද ශාක්යපුත්රයන් වෙත එළඹ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ උපනන්ද ශාක්යපුත්රයනට මෙය කීය. “වහන්ස, ඊයේ සවස මසක් උපන්නේ විය. එයින් ආර්ය්යයන් වහන්සේගේ කොටස තබන ලදී. “වහන්ස, මේ දරුවා රෑ අලුයම් වේලෙහි නැගිට මට මස් දෙවයි” හඬයි. ආර්ය්යයන්ගේ කොටස දරුවාට දෙන ලදී. “කහවණුවකින් කුමක් ගෙණා යුතුදැ”යි කීය. “ඇවැත මට කහවණු පරිත්යාග කරණ ලදදැ”යි. “එසේය වහන්ස, පරිත්යාග කරණ ලදැ”යි. “ඇවැත මට ඒ කහවණුව ම දෙව”යි.
3. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයනට කහවණුව දී අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. “යම් සේ අපි රන් රිදී මසු කහවණු පිළිගණුමෝ ද, එමෙන් ම මේ ශ්රමණ ශාක්යපුත්රයෝ ද රන් රිදී මසු කහවණු පිළිගණිති” යි. භික්ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත් . “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයෝ රන් රිදී මසු කහවණු පිළිගත්තහු දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑ ද, උපනන්දය, තෝ රන් රිදී මසු කහවණු පිළිගන්නෙහි දැ”යි. “සැබව, භාග්යවතුන් වහන්ස.” භාග්යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡ පුරුෂය, තෝ රන් රිදී මසු කහවණු පිළිගත්තෙහි ද, තුච්ඡ පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.”
“යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ” යයි.
4. යො පන යනු: යමෙක් යම් බඳුවූයෙක්, ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂුයයි අදහස් කරණ ලදී.
ජාතරූප නම්: රත්රන් කියනු ලැබේ.
රජත නම්: කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුයි යමෙක් ව්යවහාරයට යේ නම් ඒ යැ.
උග්ගණ්හෙය්ය යනු: තෙමේ ගණී නම් නිසඟිපචිති වේ.
උග්ගණ්හාපෙය්ය යනු: අනෙකක්හු ලවා ගන්වා නම් නිසඟිපචිති වේ.
උපනික්ඛිත්තං වා සාදියෙය්ය යනු: “මෙය ආර්ය්යයන් වහන්සේට වේවා” යි ලඟ තබන ලද්දක් ඉවසා නම් නිසඟි වේ. සඟමැද නිසජිය යුතුයි. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුතුයි. ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුත්තේය. “වහන්ස, මම රන් රිදී මසු කහවණු පිළිගත්තෙමි. මාගේ මෙය නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි, නිසජා ඇවැත් දෙසිය යුතුයි. ව්යක්ත වූ ප්රබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුයි. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් හේ මෙසේ කිය යුත්තේ ය. ඇවැත මෙය දනැයි. ඉදින් හේ “මෙයින් කුමක් ගෙණ ආයුතුදැ”යි බෙණේ නම් මෙය හෝ මෙය හෝ ගෙණෙවයි නො කිය යුත්තේය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ කැපවතක් පැවසිය යුතුයි. ඉදින් හේ එයින් පෙරළි කොට කැපවතක් එළවා නම් රූපිය ප්රතිග්රාහකයා තබා සියල්ලන් විසින් පරිභෝග කටයුතුයි. ඉදින් මෙසේ ලැබේ නම් එය මැනවි. ඉදින් නො ලැබේ නම් හේ මෙසේ කියයුත්තේ ය. ඇවැත මෙය ඉවත ලවයි. ඉදින් හේ ඉවත ලා නම් තෙල ඉවතලීම මැනවි. ඉදින් ඉවත නොලා නම් පසඟකින් සමන්විත වූ මහණ තෙමේ ‘රූපිය ඡඩ්ඩකය’ යි සම්මත කටයුත්තේ ය: යමෙක් ඡන්දයෙන් අගතියට නො යේ නම්, ද්වේෂයෙන් අගතියට නො යේ නම්, මෝහයෙන් අගතියට නො යේ නම්, බියෙන් අගතියට නො යේ නම්, ඉවත ලූ නො ලූ දැය දනී නම්, හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කටයුත්තේ ය: පළමුකොට මහණ තෙමේ යැදිය යුත්තේ ය. යැද ව්යක්ත වූ ප්රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.”
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඟනට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ඤත්තිය” යි.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ රූපියඡඩ්ඩක සම්මතිය යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණ තෙමේ ‘රූපියඡඩ්ඩක’ යයි සම්මත කරණ ලද්දේ ය. එය සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් තුෂ්ණිම්භාවය යි. මෙය මෙසේ දරමි” යි.