5. 2. 7.
එළකලෝමධොවාපන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව හැරපියති. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියා ය. එකත්පස්ව සිටි මහාප්‍රජාපතී ගෝතමීයට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක: “කිමෙක් ද? ගෞතමියනි, භික්‍ෂුණීහු නොපමාවූවාහු, කෙලෙසුන් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු වෙසෙද් ද.” “වහන්ස භික්‍ෂුණීන්ට අප්‍රමාදයෙක් කොයින් ද? ෂඩ්වර්ගීය ආර්‍ය්‍යයෝ මෙහෙණන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව යන මේ හැරපියති” යි.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෝතමීයට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. උත්සාහවත් කරවූහ. මැනවින් පැහැද වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, මැනවින් පහදවන ලද මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑද මහණෙනි, තෙපි භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවවු ද, රඳවවු ද, නෙළවවු ද?” යී. “සැබැව භාග්‍යවතුන් වහන්ස.” “මහණෙනි තොපගේ නෑයෝ ද නොනෑයෝ ද?” යි. “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෝ” යි. “තුච්ඡ පුරුෂයෙනි, නොනෑයෝ නො නෑයන් පිළිබඳ සුදුසු බව හෝ නුසුදුසු බව හෝ පැහැදීම හෝ නො පැහැදීම හෝ නො දනිත්. “තුච්ඡපුරුෂයෙනි, එහි නම් තෙපි නොනෑ වූ භික්‍ෂුණීන් ලවා එළුලොම් දෙවවූහු ය. රැඳවූවහු ය. නෙළවූවහු ය’ යි. “හිස්පුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් හෝ රඳවා නම් හෝ නෙළවා නම් හෝ නිසඟි පචිති වේ” යයි.
3. යො පන යනු යම්බඳු වූ යමෙක් භික්ඛු’ යි ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුය යි අදහස් කරණ ලදී.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා නො බැඳුනාහු.
භික්ඛුණී නම්, උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
4. ‘දොවව’ යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. දෝනාලද්දාහු නිසජිය යුත්තාහු වෙති. රඳන් කරවයි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. නෙළව යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. නෙළන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුත්තාහ. තවද “මහණෙනි මෙසේ නිසජිය යුත්තාහුය.” “වහන්ස, නො නෑ මෙහෙණක ලවා දොවවන ලද මගේ මේ එළුලොම් නිසඟි විය. මම මේවා සඟනට නිසජමියි ... දෙන්නේයයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත් හට දෙමි” යි:
5. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නෙළවා නම් නිසඟියක් හා දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව, නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නෙළවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
6. නො නෑ මෙහෙණක ලවා නො නෑ ය යන සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ මෙහෙණක ලවා නො නෑ සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නෙළවා නම් ... රඳන් කරවා නම් දොවවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... රඳන් කරවා නම් නෙළවා නම් දොවවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැත් වේ.
7. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් දොවවා නම් ... නෙළවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... නෙළවා නම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
8. විමති ඇත්තේ නො නෑ මෙහෙණක ලවා ... නෑය යන සන් ඇතියේ නො නෑ මෙහෙණක ලවා ... අනෙකක්හුගේ එළුලොම් දොවවා නම් දුකුළාඇවැත් වෙයි. භික්‍ෂුණීන් වෙත උපසපන් වූ මෙහෙණක ලවා දොවවා නම් දුකුළාඇවැත් වෙයි. නො නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. විමති ඇත්තේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා දොවවා නම් ඇවැත් නැති.
9. නෑ මෙහෙණක දෝනා කල්හි නො නෑ මෙහෙණක් දෙවැන්න වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරණ ලද එළුලොමින් කළ භාණ්ඩයක් දොවවා නම්, සික්ඛමානාවක ලවා (දොවවා නම්), හෙරණක ලවා (දොවවා නම්), උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලෝමධොවාපන ශික්‍ෂාපදය නිමි.