5. 2. 6.
එළකලෝම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි කොසොල් දනව්හි සිට සැවැත්නුවරට යන එක්තරා මහණක්හට අතරමගදී එළුලොම් උපන. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ එළුලොම් උතුරුසඟින් පොදියක් බැඳගෙණ ගියේ ය. මිනිස්සු ඒ මහණ දැක වෙළපූහ: “වහන්ස, ඔබ විසින් කොපමණකින් මිලයට ගන්නා ලද ද. කෙතෙක් ලාබ වන්නේ දැ?” යි. ඒ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු වූයේ ය. ඉක්බිති ඒ මහණ සැවැත්නුවරට ගොස් ඒ එළුලොම් සිටි වන ම බිම හෙළී ය. භික්‍ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ඇවත තෝ කුමක් හෙයින් මේ එළුලොම් සිටි වන ම බිම හෙළුයෙහි ද?” යි. “ඇවැත්නි, මම මේ එළුලොම් නිසා මිනිසුන් විසින් වෙළපන ලද්දෙමි. එහෙයිනි” යි. “ඇවැත්නි, තෝ කෙතෙක් දුර සිට මේ එළුලොම් ගෙණ ආයෙහි දැ?”යි. “ඇවැත්නි, අයිරා තුන් යොදුනකි” යි. යම් අපිස් වූ මහණ කෙනෙක් වෙත් ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් මහණෙක් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණ? තෝ අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙන අයි දැ”යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුහු ගැරැහූහ. “තුච්ඡපුරුෂය, තෝ කෙසේ නම් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“අදන්මගට පිළිපන් මහණකුහට එළුලොම් උපනේ නම් කැමැති මහණහු විසින් පිළිගත යුතු යි. පිළිගෙණ ගෙණ යන්නකු නැතිකල්හි තුන් යොදුනක් පරම කොට සියතින් ගෙණ යා යුතු යි. ඉදින් ගෙණ යන්නකු නැති කල්හිදු ඉන් මත්තෙහි ගෙණ යන්නේ නම් නිසැඟිපචිති වේ.”
2. භික්ඛු නො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස යනු: මග යන්නහුට.
ඒකලෝමානි උප්පජ්ජෙය්‍යුං යනු: සඞ්ඝයාකෙරෙන් හෝ ගණයාකෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල ව හෝ සිය ධනයෙන් හෝ උපදනාහු ය.
ආකඞ්ඛමානෙන යනු: කැමැතිවන්නහු විසින්
පටිග්ගහෙතබ්බානි පටිග්ගහෙත්‍වා තියෝජනපරමං සහත්‍ථා හරිතබ්බානි යනු: තුන් යොදුන් පරම තැන් ගෙණ යෑ යුත්තාහ.
අසන්තෙ හාරකෙ යනු: ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි ගෙණ යන අන් කිසිවෙක් නැත්තේ වෙයි.
තතො චෙ උත්තරිං හරෙය්‍ය අසන්තෙ’පි හාරකෙ යනු: පළමු පිය තුන් යොදුන ඉක්මවා නම් දුකුළාඇවැත් වෙයි. දෙවෙනි පිය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. තුන්යොදුන ඇතුළත සිටියේ තුන්යොදුනෙන් පිටත හෙළා නම් නිසඟිපචිති වෙයි. නො දන්නා වූ අනෙකක්හුගේ යානයෙහි හෝ බැඬියෙහි හෝ බහා තුන් යොදුන ඉක්මවා නම් නිසඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුත්තාහ: “වහන්ස, තුන් යොදුනක් ඉක්මවන ලද මගේ මේ එළුලොම් නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි යි, ... දෙන්නේ යි ... දෙන්නහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
3. අතිරේක අයිරා තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි විමති ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි උනු ය යන සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වේ. උනු තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු තුන් යොදුනෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙ’යි. උනුතුන් යොදුනෙහි උනුය යන සන් ඇතියේ ඇවැත් නැති.
4. තුන්යොදුනක් තැන් ගෙණ යේ නම්, උනුතුන් යොදුනක් තැන් ගෙණ යේ නම්, තුන් යොදුනක් තැන් ගෙණ යේ ද පෙරළා ගෙණ ඒ ද, තුන් යොදුනක් තැන් විසියැටි වූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණ යේ නම්, අසිඳැ ගන්නා ලදුව නැවත ලැබ ගෙණ යේ නම්, නිසජන ලද්දක් ලැබගෙණ යේ නම් අනෙකක්හු ලවා ගෙන්වා යේ නම්, එළුලොමින් කළ බඩුවක් ගෙණ යේ නම් (ඔහුට ද), උමතු වූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලෝම ශික්‍ෂාපදය නිමි.