5. 2. 5.
නිසීදනසන්‍ථත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවත්හු භික්‍ෂූන් ඇමැතූහ: ‘මහණෙනි, මම් තුන්මසක් විවික්ත ව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාත එළවන එක් මහණක්හු හැර කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය එළවන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙයි. යළි එසමයෙහි සැවැත්නුවර සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද වෙයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් මුළුල්ලෙහි විවික්ත ව වාසය කරන්නට කැමති වන සේක. පිණ්ඩපාත එළවන එක් මහණකු විනා කිසිවක්හු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි.
2. එකල්හි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන තෙමේ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන්නාවූ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ: ‘කිම උපසේනය, තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම නො වෙහෙසින් දිගුමඟැ ආවාහු දැ’යි. ඉවැසිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, වහන්ස අපි නො වෙහෙසින් දිගුමඟැ ආම්හ’යි.
3. තවද එසමයෙහි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනගේ සද්ධිවිහාරික මහණෙක් භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ තට පසුල්සිවුරු මනාප දැ’යි. ‘වහන්ස, මට පසුල්සිවුරු මනාප නො වෙති’යි. ‘කවර හෙයින් මහණ, තෝ පංශුකූලිකයෙහි දැ’යි. ‘වහන්ස, මාගේ උපාධ්‍යායයෝ පාංශුකූලිකයහ. එසෙයින් මම ද පාංශුකූලිකයෙමි’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට මෙය වදාළහ: ‘උපසේනය, තාගේ මේ පිරිස ප්‍රසාදික ය, උපසේනය, කිසෙයින් තෝ පිරිස හික්මවූයෙහි දැ’යි. ‘වහන්ස, යමෙක් මා උපසම්පදාව ඉල්වා නම්, ඔහුට මම මෙසේ කියමි: ඇවැත්නි, මම ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම් තා උපසපන් කරන්නෙමි’යි ඉදින් මට පිළින කෙරේ නම් උපසපන් කරමි. ඉදින් මට පිළින නො කෙරේ නම් උපසපන් නො කෙරෙමි. යමෙක් මා නිස ඉල්වා නම් ඔහුට මම් මෙසේ කියමි. ‘ඇවැත්නි, මම් ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම තට නිස දෙන්නෙමි’යි. ඉදින් මට පිළින කෙරේ නම් නිස දෙමි, ඉදින් මට පිළින නො කෙරේ නම් නිස නො දෙමි. වහන්ස, මෙසේ මම් පිරිස හික්මවමි”යි. “මැනව මැනව උපසේනය, උපසේනය තෝ මැනැවින් පිරිස හික්මවූයෙහි. තවද ‘උපසේනය’ තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දනී දැ”යි. වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වසන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හේ පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලද ය. ‘වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. අපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත වූ ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’යි. මැනව මැනැව උපසේනය, නො පණවන ලද්දක් නො පැණවිය යුතුය, පණවන ලද්ද හෝ නො සිඳිය යුතුය. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පැවැතිය යුතු. උපසේනය, යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදනිමි.
4. තවද එසමයෙහි බොහෝ භික්‍ෂූහු “අපි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන් ලවා පචිතිඇවැත් දෙසවම්හ’ යි බිහිදොර කොටුවෙහි සිටියාහු වෙති. ඉක්බිති වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයෝ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන්ට මෙ පවත් කීහ: ‘ඇවැත්නි, උපසේනයෙනි, තෙපි සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නහු දැ’යි. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ද මට මෙසේ වදාළහ: උපසේනය, තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නෙහි දැ’යි. ‘වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වාසය කරන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලදැ’යි. “වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. ‘ඇපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’ යි. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදන්නා ලද” යයි.