5. 2. 4.
ඡබ්බස්ස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවති. ඔහු ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම බහුල ව විනැවීම් බහුල ව වෙසෙති. මිනිස්සු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් ද, අපගේ වැලිත් වරක් කරණ ලද ඇතිරි පස්වසකුදු සවසකුදු පවතිත්. එහි අපගේ දරුවෝ මලමූ ද කෙරෙති (ඔහු) මීයන් විසිනිදු කනු ලැබෙත්. එතෙකුදුවත් මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවති. ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙති” යි.
2. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද “එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ”යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ වසක් පාසා ඇතිරි කරවත් ද ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වාසය කෙරෙත් දැ”යි වෙසෙසින් ගර්‍හා කළහ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීමට නො වැටෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණහු විසින් නව ඇතිරිය කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් සවසකින් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ අනිත් නවඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද වේ.
[මුල් පැණවීමයි]
3. තවද එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ‘වහන්සේ පැමිණෙත්වා අපි උපස්ථාන කරම්හ’ යි ඒ මහණහු වෙත දූතයකු යැවූහ. භික්‍ෂූහු ද ‘යා ඇවැත, නෑයෝ තොපට උවැටන් කරන්නාහ’යි මෙසේ කීහ. හේ මෙසේ කී ය: “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් සිකපද පණවන ලද. ‘මහණහු නවඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු’ යයි. මම් වූ කලි ගිලන් වෙමි. ඇතිරිය ගෙණ නික්ම යන්නට නො හැක්කෙමි. මට ද ඇතිරිය නැති ව සුවයෙක් නො වෙයි. මම් නො යෙමි” යි. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි ගිලන් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම් ගිලන් වෙමි. සන්‍ථතය ගෙණ යන්නට නො හැක්කෙමි. වහන්ස, මම් සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය අයදිමි. දෙවනවට ද යැදියයුතු තෙවනවට ද යැදියයුතු. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වෙයි. සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නේ ය. මේ ‘ඤත්ති’ යයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වූයේ සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් ‘සන්‍ථතසම්මුතිය’ යදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙයි. මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණීම්භූත වන්නේය. යමක්හට රිසි වේ නම් හේ බණන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙන ලද, සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි” යි.
5. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණක්හු විසින් අලුත් ඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් මහණහු විසින් සාවුරුද්දක් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ භික්‍ෂුසම්‍මති නැති ව අනිත් අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
[දෙවන පැණවීමයි.]
6. නව නම්: කිරීම උදෙසා කියනු ලැබෙයි.
සන‍්ථත යනු: නො වියූ අතුරා කරණ ලද්දෙක් වෙයි.
කාරාපෙත්‍වා යනු: කොට හෝ කරවා හෝ.
ඡබ්බස්ස ධාරෙතබ්බං යනු: සාවුරුද්දක් පරම කොට ධැරිය යුතු ය.
ඔරෙන චෙ ඡන්නං වස්සානං යනු: උනු සාවුරුද්දක්.
තං සන්‍ථතං විස්සජ්ජෙත්වා යනු: අනුනට දී.
අවිස්සජ්ජෙත‍්වා යනු: කිසිවක්හට නො දී.
අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්‍ෂුසම්මති තබා.