5. 2. 3.
ද්වේභාග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි සවග මහණහු “භාග්යවතුන්වහන්සේ විසින් හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවීම පිළිකෙවිනැ” යි තුමූ මඳක් ම සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත්. යම් අපිස් මහණහු වෙද්ද ඔහු “කෙසේ නම් සවග මහණහු මඳක් සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත් දැ”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන්වහන්සේට එ පවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, තෙපි සුදු එළුලොම් මඳක් ම දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවවු දැ?” යි භාග්යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්යවතුන්වහන්සැ” යි ඔහු කීහ. භාග්යවත් බුදුරජානන්වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සුදු එළුලොම් මඳක් දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“අලුත් ඇතිරියක් කරවන මහණහු විසින් හුදු කළු එළුලොම් දෙකොටසක් ගත යුතු. තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල් වන් එළුලොම් ද ගත යුතු. ඉදින් මහණ තෙම දෙකොටසක් හුදු කළුපැහැ එළුලොම් ද තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල්වන් එළුලොම් ද නොගෙණ අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ.”
2. නවං යනු: කිරීම් වශයෙන් අලුත් බව ඇරැබැ කියනු ලැබේ.
සන්ථතං යනු: අතුරා කරණ ලද්දෙක් වෙයි, නොවියන ලද්දෙක් වෙයි.
කාරයමානෙන යනු: කරණ හෝ කරවන හෝ.
දෙව භාගා සුද්ධකාළකානං එළකලෝමානං ආදාතබ්බා යනු: මැන තුලා දෙකක් ගත යුතු.
තතියං ඕදාතානං යනු: සුදුපැහැ එළුලොම් තුලාවක්.
චතුත්ථං ගෝචරියානං යනු: කිඹුල්වන් එළුලොම් තුලාවක්.
අනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලෝමානං තතියං ඕදාතානං චතුත්ථං ගෝචරියානං යනු: හුදු කළුපැහැ එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්පැහැ එළුලොම් තුලාවක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ පියොවෙහි දුකුළා වේ. ලබා ගැණීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, හුදු කළුවන් එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්වන් එළුලොම් තුලාවක් ද නොගෙණ මා විසින් කරවන ලද මේ අලුත් ඇතිරිය නිසඟි වේ, මෙය මම් සඟනට නිසජමි ... දෙන්නේය ... දෙන්නාහු ය ... ආයුෂ්මත්හට දෙමි” යි මෙසේ නිසජිය යුතු.
3. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළාඇවැත් වෙයි. අනෙකකු විසින් කරණ ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ.
4. සුදු එළුලොම් සම ව කිඹුල්වන් එළුලොම් සම ව ගෙණ කෙරේ නම්, සුදු එළුලොම් බහුතර ව කිඹුල්වන් එළුලොම් බහුතර ව ගෙණ කෙරේ නම්, නො මුසු සුදු එළුලොම් නො මුසු කිඹුල්වන් එළුලොම් ගෙණ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති යි.
ද්වේභාග ශික්ෂාපදය නිමි.