5. 2. 2.
ශුද්ධකාලක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු එය දැක, “කෙසේ නම් ශාක්යපුත්රීය ශ්රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවද්දැ”යි අවමන් කරත්, අයුණු කියත්, දොස් පතුරුවත්. භික්ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු “කෙසේ නම් සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්දැ!”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු දැ?” යි භාග්යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්යවතුන්වහන්සැ” යි ඒ මහණහු කීහ. භාග්යවතුන් වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවා නම් නිසැඟි පචිති වෙයි.”
2. යො පන යනු යමෙක්, යම්බඳු වූ ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂු ය යි අදහස් කරණ ලදී.
කාළක නම්: උත්පත්තියෙන් කළු වූයේ රඳන් පෙවීමෙන් කළු වූයේ දැ යි කළු පැහැය දෙවැදෑරුම් වෙයි.
සන්ථත නම්: අතුරා කරණ ලද, නොවියන ලද.
කාරාපෙය්ය යනු කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, මා විසින් කරවන ලද හුදු කළු එළුලොම්මුවා මේ ඇතිරිය නිසඟි වෙයි. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
3. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් අඩාළ කරණ ලද්ද අනුන් ලවා නිමවා ද, නිසඟිපචිති වේ, අනුන් විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද නිසඟිපචිති වේ. අනෙකකු පිණිස කෙරේ ද කරවා ද දුකුළාඇවැත් වේ. අනෙකකු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද ඇවැත් නො වේ. උමතුවාහට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
ශුද්ධකාලක ශික්ෂාපදය නිමි.
5. 2. 3.
ද්වේභාග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි සවග මහණහු “භාග්යවතුන්වහන්සේ විසින් හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවීම පිළිකෙවිනැ” යි තුමූ මඳක් ම සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත්. යම් අපිස් මහණහු වෙද්ද ඔහු “කෙසේ නම් සවග මහණහු මඳක් සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත් දැ”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන්වහන්සේට එ පවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, තෙපි සුදු එළුලොම් මඳක් ම දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවවු දැ?” යි භාග්යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්යවතුන්වහන්සැ” යි ඔහු කීහ. භාග්යවත් බුදුරජානන්වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සුදු එළුලොම් මඳක් දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු: