“යම් මහණෙක් භාර්‍ය්‍යාභාවයෙහි වේවයි, මිථ්‍යාචාර භාවයෙහි වේවයි, පුරුෂමතිය ස්ත්‍රියට හෝ ස්ත්‍රීමතිය පුරුෂයාහට හෝ යටතින් එමොහොත සෙව්නා කැමැති මාගමකට හෝ ගෙණ එමින් සඤ්චරණභාවයට වදනේ නම් සඟවෙසෙස් වේ.”
(දෙවන පැණවීමයි.)
13. යො පන යනු යමෙක් යම්බඳු වූවෙක් ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ය යි අධිප්‍රෙත ය.
සංචරිත්තං සමාපජ්ජය්‍ය යනු: ස්ත්‍රිය විසින් යවන ලද්දේ පුරුෂයා සමීපයට යේ ද, පුරුෂයා විසින් යවන ලද්දේ ස්ත්‍රියගේ සමීපයට යේ ද,
ඉත්‍ථියා වා පුරිස මතිං යනු: පුරුෂාගේ අදහස ස්ත්‍රියට හෝ කියයි ද,
පුරිසස්ස වා ඉත්‍ථිමතිං යනු: ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියයි ද,
ජායත්තනෙ වා යනු: බිරිඳ වන්නෙහි ය යි ...
ජාරත්තනෙ වා යනු: සොර අඹු වන්නෙහි ය යි ...
අන්තමසෝ තඞ්ඛණිකායපි යනු: එ මොහොතෙහි අඹු වන්නෙහිය යි
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු ‘සඟවෙසෙස’යි කියනු ලැබේ.
14. ස්ත්‍රීහු දස දෙනෙකි; මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සාරක්ඛා ය, සපරිදණ්ඩා ය යන මොහු යි.
භාර්‍ය්‍යාවෝ දස දෙනෙකි: ධනක්කීතා ය, ඡන්‍දවාසිනී ය, භෝගවාසිනී ය, පටවාසිනී ය, ඔදපත්තකිනී ය, ඔභතචුම්බටා ය, දාසිභරියා ය, කම්මකාරී භරියා ය, ධජාහටා ය, මුහුත්තිකා ය, යන මොහු යි.
මාතුරක්ඛිතා නම්: මවු තොමෝ (යම් ස්ත්‍රියක) රකී ද, ගුප්තස්ථානයෙහි තබා රකියි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද තමා වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
පිතුරක්ඛිතා නම්: යම් මාගමක් පිය තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද, සිය වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි)
මාතාපිතුරක්ඛිතා නම්: මවුපිය දෙදෙනා ම යම් ස්ත්‍රියක රකිත් ද, ගෝපනය කරත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද (ඒ ස්ත්‍රී යි.)
භාතුරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක සොහොවුරු තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
භගිනිරක්ඛිතා නම්: යම් මාගමක බිහිනි තොමෝ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝය.)
ඤාතිරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක නෑයෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
ගොත්තරක්ඛිතා නම්: යම් මාගමක සමානගෝත්‍රඇතියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)