3. 3.
දුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය මනරම් ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නේ ය. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සෙනස්න බැලියැටි වූවාහු ඒ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ආයුෂ්මත් උදායී තෙරුන් කරා එළඹියාහු ය. එළඹ ආයුෂ්මත් උදායී හට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේගේ විහාරය බලන්නට අපි කැමැත්තෙමු”යි කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ස්ත්‍රීන්ට විහාරය පෙන්වා ඒ ස්ත්‍රීන්ගේ වසමග පසමග ලක් කොට ගුණ ද කියයි. අගුණ ද කියයි. යදනේත් වෙයි. අයදනේත් වෙයි. විචාරණුයේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. අනුසස්නේත් වෙයි. හවන්නේත් වෙයි. යම් ඒ ස්ත්‍රී කෙනෙක් සුන් ඔතප් ඇත්තෝ සඨ වූවෝ ලජ්ජා නැත්තෝ වෙත් ද, ඔහු ආයුෂ්මත් උදායී තෙරුන් සමග මඳ සිනා පහළ කරන්නෝත් වෙත්. පොළඹවන බස් දොඩන්නෝත් වෙත්. මහ හඬින් සිනා සෙන්නෝ ද වෙත්. පරිහාස ද කෙරෙත්. යම් ඒ ස්ත්‍රී කෙනෙක් ලජ්ජා ඇත්තාහු ද ඔහු නික්ම ‘වහන්ස, මෙය නුසුදුසු ය. යෝග්‍ය නො වෙයි. හිමියා විසිනුදු මෙසේ කියන ලද්දා වූ අපි නො රුස්නෙමු. උදායී ආර්‍ය්‍යයන් වහන්සේ විසින් කියන ලදුමෝ කිම රුස්නමෝ ද?”යි භික්‍ෂූන්ට අවඥා කරත්. යම් ඒ අපිස් මහණහු වෙත් ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමුන්ට වසමග පසමග ඇරැබ තුළුල් තෙපුලින් ඔවස් බෙණේ ද?”යි අවඥා කෙරෙත්. අයුණු කියත්. දොස් පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා “උදායී, තෝ මාගමට තුළුල් තෙප්ලෙන් ඔවස් බිණූයෙහි සැබෑ ද?”යි ආයුෂ්මත් උදායී තෙරුන් පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්සැ”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණ සේක්, “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වෙයි. යෝග්‍ය නො වෙයි. මහණුන්ට නො ගැළපෙන්නෙක. නො කැප ය. නොකටයුත්තක. හිස් පුරුෂය, කවර කරුණකින් තෝ මාගමට තුළුල් තෙප්ලෙන් පහත් ලෙස බිණූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් සරාගය පිණිස නො ව විරාගය පිණිස නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස නො වේ”යි ... ගැරහූ සේක. ඉක්බිති මෙය වදාළ සේක: මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් තුළුල් තෙපුල් කියැටි රායෙන් මඩනා ලද්දේ පෙරළි සිතින් මිනිස් මාගමකට වසමග පසමග ඇරැබ මෙවුන්දම් පිළිබඳ තුළුල් තෙප්ලෙන් තරුණයකු තරුණියකට මෙන් ඔවස් බෙණේ නම් ඒ මහණහට සඟවෙසෙස් ඇවැත් වේ.”
3. යෝපන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු ... මේ අරුත්හි මේ තෙමේ භික්‍ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණ නම්: ඇලුම් ඇත්තේ, අපේක්‍ෂා ඇත්තේ, පිළිබඳ සිතැත්තේ යි.
විපරිණතං යනු: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මූඪ වූ සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගැණීමට සමත් නුවණැති මාගම කි.
දුට්ඨුල්ලවාචා නම්: වසමග පසමග මෙවුන්දම් පිළිබඳ තෙපුල් ය.
ඔහාසෙය්‍ය යනුයෙන් ආචාරව්‍යතික්‍රමය කියනු ලැබේ.
යථා තං යුවා යුවතිං යනු ගම්දරුවකු ගම්දැරියකට තරුණයකු තරුණියකට කම්සැප විඳින්නකු කම්සැප විඳින්නියකට කථා කරන්නාක් මෙනි.
මෙථුනූපසංහිතා යනු: මෙවුන්දම් පිළිබඳ තෙපුලින් ය.
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඟවෙසෙස යි කියනු ලැබේ.
4. දෙමග ඇරැබ ගුණත් කියයි. අගුණත් කියයි. යදින්නේත් වෙයි. අයදින්නේත් වෙයි. විචාරන්නේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. කියන්නේත් වෙයි. අනුශාසනා කරන්නේත් වෙයි. ආක්‍රෝශ කරන්නේත් වෙයි.
ගුණ කියයි යනු: දෙමග ගුණ කියයි. වණයි. පසසයි.
අගුණ කියයි යනු: ගරහයි, අවමන් කෙරෙයි, නින්‍දා කෙරෙයි.
යදියි යනු: ‘මට දෙව, මට දීමට සුදුස්සෙහි ය’යි කියයි.
අයදියි යනු: කවරදා තීගේ මවු තුටු වන්නී ද? කවරදා තීගේ පියා තුටු වන්නේ ද? කවරදා තීගේ (ඉටු) දෙවියෝ පහදින්නාහු ද? කවරදා සුබ ක්‍ෂණය, සුබ ලය, සුබ මොහොත වන්නේ ද? කවරදා තිගේ මෙවුන්දම් ලබන්නෙම් ද? යී කියයි.
විචාරයි යනු: ‘කෙසේ නම් තෝ සැමියාට දෙයි ද? කෙසේ නම් තෝ සොර සැමියාට දෙයි ද? යි ප්‍රශ්න කෙරෙයි.
පිළිවිසියි යනු: ‘මෙසේ තෝ සැමියාට දෙයිල මෙසේ තෝ සොරසැමියාට දෙයිල’යි පිළිවිසියි.
කියයි යනු: විචාරන ලද්දේ “මෙසේ දෙව. මෙසේ දෙන්නිය හිමියාට ප්‍රිය ද මන වඩන්නී ද වන්නීය”යි කියයි.
අනුශාසන කෙරෙයි යනු: නො විචාරණ ලද්දේ “මෙසේ දෙන්නිය සැමියාට ප්‍රිය වන්නී ය, මන වඩන්නීය”යි කියයි.
ආක්‍රෝශ කෙරෙයි යනු: ‘නිමිත්ත නැත්තී වෙහි, නොපිරිපුන් නිමිත්ත ඇත්තී වෙහි, ඔසප් නැත්තී වෙහි, නිති ඔසප් ඇත්තී වෙහි, නිති දරණ පිළි කඩ ඇත්තී වෙහි, මූ වගුරුවන්නී වෙහි, හිවී ගිය මස් ඇත්තී වෙහි, ස්ත්‍රීපණ්ඩක වෙහි, පිරිමි අයුරු ඇත්තී වෙහි, මුසු වූ හදන් ඇත්තී වෙහි, දෙහදන් ඇත්තී වෙහි’යි කියයි.