3. 2.
කායසංසර්ගශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත්හුගේ අරම මනහර දැකුම් ඇත්තෙකි. ප්රසාද එළවන්නෙකි. මැද ගබ හාත් පස මණ්ඩලමාලයෙන් පිරිකෙවු කරණ ලද්දේ ය. එහි ඇඳ පුටු බිසි බ්ම්බොහොන මනා කොට පණවන ලද්දේ ය. පියයුතු පිරිබෝ කටයුතු ජලය එළවන ලද්දේ ය. මිදුල මනා කොට හමදින ලද්දේ ය. බොහෝ මිනිස්සු උදායිහුගේ විහාරය බලනු කැමැත්තෝ එහි පැමිණෙති.
2. බිරිඳ සහිත වූ එක්තරා බමුණෙක් ආයුෂ්මත් උදායි වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායීහට, “අපි වනාහි භවත් උදායිහුගේ විහාරය දක්නට කැමැත්තෙමු”යි කී ය. ආයුෂ්මත් උදායි තෙමේ “එසේ නම් බමුණ බලව”යි යතුර ගෙණ අගුල හැර, කවුළු හැර, විහාරයට පැමිණියේ ය. ඒ බමුණු තෙමේ ද ආයුෂ්මත් උදායිහුගේ පිටු පසින් පැමිණියේ ය. බැමිණිය ද බමුණා ගේ පිටු පසින් ගියා ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇතැම් වාකවුළු හරිනුයේ, ඇතැම් වාකවුළු වසනුයේ, ගැබ හාත්පසින් ගමන් කොට පිටුපසින් අවුත් ඒ බැමිණියගේ සිරුරෙහි අවයවයන් පරාමර්ශනය කෙළේ ය. ඉක්බිති ඒ බමුණු තෙමේ ආයුෂ්මත් උදායි හා බෙහෙවින් සතුටු වී ගියේ ය.
3. වැලිදු ඒ බමුණු තෙමේ සතුටු වූයේ, “යම් මේ මහණ කෙනෙක් මෙබඳු අරම්හි වෙසෙද්ද, ඒ මේ ශ්රමණ වූ ශාක්යපුත්රීයයෝ උදාරයහ. යමෙක් මෙබඳු අරණෙක වෙසේ ද, ඒ භවත් උදායි තෙමේ ද උදාර යැ”යි සතුට හඟවන වචන ද පැවැසී ය. මෙසේ කී කල්හි ඒ බැමිණි තොමෝ, “ඔහුගේ උදාර බවෙක් කොයින් ද? යම් සේ තෙපි මගේ අඟපසඟ පරාමර්ශනය කළහු නම් එ මෙන් ම ඒ උදායී මහණ තෙමේ ද මගේ ශරීරාවයව පරාමර්ශනය කෙළේ” යයි බමුණුට කීවා ය.
4. ඉක්බිති ඒ බමුණු තෙමේ මෙසේ අවමන් කරයි, අයුණු කියයි, නුගුණ පතුරවයි: “මේ ශ්රමණ ශාක්යපුත්රීයයෝ අලජ්ජිහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් තුමූ ධම්මචාරීහු ය යි සමචාරීහු ය යි බ්රහ්මචාරීහු ය යි සත්යවාදීහුය යි සීලවන්තයෝය යි කල්යාණධර්ම ඇත්තෝය”යි පිළින කෙරෙත්. “මොවුන්ට මහණ කමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණු කමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. කෙසේ නම් උදායී මහණ තෙමේ මගේ බිරින්දගේ අඟපසඟ පිරිමැද්දේ ද? කුලඟනන් සමග කුලදූන් සමග කුලකුමරියන් සමග කුලලේළියන් සමග කුලදැසියන් සමග අරමකට හෝ වෙහෙරකට යෑමට නො හැකිය. ඉදින් කුලස්ත්රීහු කුලදුහිතෘහු කුලකුමාරීහු කුලලෙහෙළිහු කුලදාසීහු අරමකට හෝ වෙහෙරකට යන්නාහු නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ ඔවුන් දූෂණය කරන්නාහු” යනුයි.
5. අවමන් කරණ අයුණු කියන දොස් පතුරවන ඒ බමුණාගේ තෙපුල් භික්ෂූහු ඇසූහ. යම් ඒ අල්පේච්ඡ භික්ෂූහු වෙද්ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමක හා කාසසඟට පැමිණියේදැ?”යි අවමන් කරත්. අයුණු කියත්. නුගුණ පතුරවත්.
6. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. එවිට භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් උදායිගෙන් විචාළහ. “උදායී, තෝ මාගමක හා කාසසඟට පැමිණියෙහි ය යනු සැබෑ දැ”යි අසා වදාළ සේක. “සැබෑව, භාග්යවතුන් වහන්ස”යි ආයුෂ්මත් උදායී කීය. “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වේ. යෝග්ය නො වේ. මහණුන්ට නො සරුප් ය. නො කැප ය. මහණකු විසින් නොකට යුතු ය. “හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගමක හා කාසසඟට සමවන්නෙහි ද? හිස් පුරුෂය, ඇලීම පිණිස නො ව නො ඇලීම පිණිස මා විසින් නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන් සංසිඳවීම මා විසින් නොයෙක් අයුරින් කියන ලද්දේ නො වේ ද? “හිස් පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පහන් බව පිණිස නො වන්නේ ය. ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මාගමක හා කාසසඟට පැමිණියේ නම්, අත ගැණීම හෝ කෙහෙ ගැණීම හෝ යම්ම අඟපසඟක් පිරිමැදීම හෝ කෙරේ නම් සඟවෙසෙස් වේ” යනුයි.
7. යො පන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ෂු ය යි අදහස් කරණ ලදී.
ඔතිණ්ණ නම්: අතිශයින් ඇලුනේ, බලාපොරොත්තු ඇත්තේ, පිළිබඳ සිත් ඇත්තේ ය.