3. 13.
කුලදූසකශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි අස්සජී ය පුනබ්බසුක ය යන නම් ඇති අලජ්ජී වූ පාපභික්ෂූහු කීටාගිරි දනව්වෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙති: මල්ගස් (තුමූද) රෝපණය කෙරෙති, (මෙරමා ලවා ද) රෝපණය කරවති. දිය ඉසිති, දිය ඉස්වති. නෙලති, නෙලවති. ගොතති, ගොතවති. එක්පසැ නටු ඇති මාලා කෙරෙති. කරවති. දෙපසැ නටු ඇති මාලා කෙරෙති, කරවති. මල්කලප් කෙරෙති, කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවති. මල්සුඹුළු කෙරෙති, කරවති. මල් කැරලි කෙරෙති, කරවති. උරසැද කෙරෙති, කරවති. ඔහු කුලස්ත්රීන්ට, කුලදූන්ට, කුලකුමරියන්ට, කුලසුණිසාවන්ට, කුලදාසීන්ට එක්පස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. මල් සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. ඔහු කුලස්ත්රීන් කුලදූන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති -
එක් තලියෙහි දු බොති. එක් අසුනෙහි දු හිඳිති. එක් ඇඳෙහි දු හොවිති. එක්තිලි ඇති ව හොවිති. එක් පොරෝණ ඇති ව ද හොවිති. එක්තිලිපොරෝණ ඇති ව ද හොවිති. නො කල්හි දු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලවුනු දු දරති, නටති, ගයති, වයති. ලාස්ය නැටුම් නටති. නිළිය නටන කල්හි දු නටති. නටන කල්හි දු ගයති. නටන කල්හි දු වයති. නටන කල්හි දු ලාස්ය කෙරෙති. ගයන කල්හි දු නටති. ගයන කල්හි දු ගයති. ගයන කල්හි දු වයති. ගයන කල්හි දු ලාස්ය කෙරෙති. වයන කල්හි දු නටති. වයන කල්හි දු ගයති. වයන කල්හි දු වයති. වයන කල්හි දු ලාස්ය කෙරෙති. ලාස්ය කරණ කල්හි දු නටති. ලාස්ය කරණ කල්හි දු ලාස්ය කෙරෙති. අටපද දූපෝරුයෙහි දු කෙළිති. දශපද දූපෝරුයෙහි දු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි දු කෙළිති. හිරිමඬලෙහි දු කෙළිති. නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනු දු කෙළිති. සිංකෙළියෙනු දු (කල්ලි) කෙළිති. ලහඅතිනු දු කෙළිති. ලාවටිනු දු කෙළිති. පත්නලිනු දු කෙළිති. කුඩානඟුලිනු දු කෙළිති. කරණම් පැනීමෙනු දු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැලියෙනු දු කෙළිති. කුඩා රියෙනු දු කෙළිති. කුඩා දුන්නෙනු ද කෙළිති. අකුරුකෙළියෙනු ද කෙළිති. මනෙසිකායෙනු (සිතූ දෙය කීමෙන්) දු කෙළිති. යථාවද්යායෙනු දු (සිරුර දොස් ඇති සැටි දක්වමින්) කෙළිති. හස්තිශිල්පයෙහි දු හික්මෙති. අශ්වශිල්පයෙහි දු හික්මෙති. රථශිල්පයෙහි දු හික්මෙති. ධනුශිල්පයෙහි දු හික්මෙති. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙති. ඇතු පෙරටුයෙහි ද දුවති. අසු පෙරටුයෙහි ද දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට දුවති. පෙරට ද දුවති. ප්රීතිනාද ද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි මෙහි නටව’යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ අනාචාර ද කෙරෙත්.
2. තවද එසමයෙහි එක්තරා මහණෙක් කාසිජනපදයෙහි වස් විසූයේ බුදුරදුන් දක්නා පිණිස සැවැත්නුවරට යන්නේ කීටාගිරිය යම් තැනෙක්හි ද එතැනට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ප්රසාද එළවන ගමනින් නැවැත්මෙන් ඉදිරි බැල්මෙන් අවට බැල්මෙන් අත්පා හැකුළුමින් දිග හැරීමෙන් (යුතුව) යට හෙළූ ඇස් ඇත්තේ පිරිපුන් ඉරියව් ඇත්තේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය. මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: ඉතා දුබලයකු මෙන් ඉතා සණ්හයකු මෙන් ඉතා හැකුළූ මුහුණු ඇත්තකු මෙන් මේ කවරෙක් ද? මොහු ගෙදොරට පැමිණියහුට කවරෙක් පිණ්ඩපාතයකු දු දෙයි ද? අපගේ ස්වාමීහු අස්සජීපුනබ්බසුකයෝ වැළිත් නිපුණයෝ ය. සඛිලයෝ ය, සුව එළවන කථා ඇත්තාහු ය, සිනහ පෙරටු කොට කථා කරන්නාහු ය, ‘එව සුවදැ’යි කියන්නාහු ය, නො හැකුළූ බැම ඇත්තාහු ය, නැඟූ මුව ඇත්තාහු ය, පළමු කථා කරන්නාහු ය. ඔවුනට නම් පිඬු දිය යුත්තේ දැ’යි. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන ඒ මහණ දුටුයේ ය. දැක ඒ මහණහු කරා එළඹ ඒ මහණහු වැඳ මේ කී ය. ‘වහන්ස, පිඬු ලැබුණේ දැ? යි. ඇවැත්නි, පිඬු නො ලැබිණැ’යි. එව වහන්ස, ගෙට යම්හ’යි.