4.
අනියත කාණ්ඩය
ඇවැත්නි, මේ අනියත ධර්‍මයෝ දෙදෙන උදෙසීමට එති:
4. 1.
පළමු අනියතශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැත්නුවරෙහි කුලුපග වෙත්. බොහෝ කුලයන් කරා එළඹෙත්. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක කුලයක් සතු කුමරියක් එක්තරා කුලකයක් සතු කුමරකුට දින. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹියහ. එළඹ “මෙ නම් කුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ: “වහන්ස, අසෝ කුලය සතු කුමරකුට දිනැ” යි, ඒ මිනිස්සු කීහ.
2. ඒ කුලය ද ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුලය කරා එළඹියහ. එළඹ, “මෙ නම් තුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ. හිමියනි, තෙල කුමරිය ලැගුම් ගෙහි හුන” යි ඔහු කීහ. එසඳ ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුමරිය කරා එළඹියහ. එළඹ එකලා වූයේ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ රහසිගත ව සිට මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙහි කල් සලකා පැවති බස් බෙණෙමින් කලට යුතු දහම් බෙණෙමින් නිෂද්‍ය කළහ.
3. එසමයෙහි මෘගාරිමාතා වූ විශාඛාවෝ බොහෝ දූ පුතුන් ඇතියහ. බොහෝ මුනුබුරන් ඇතියහ. නීරෝග දූ පුතුන් ඇතියහ. නීරෝග මුනුබුරන් ඇතියහ. උත්තම මඞ්ගල සම්මතයහ. මිනිස්සු දාන ප්‍රදානයෙහි දී දින නියම ඇති ආවාහ විවාහ ආදි සැණෙහි දී දින නියම නැති (ඇසළ ඈ) මහ සැණෙහි දී මෘගාරිමාතෘ විශාඛාවන් පළමු කොට වළඳවත්. එ සඳ මෘගාරිමාතෘ විශාඛාවෝ කැඳවන ලදු ව එකල කරා ගියහ. මෘගාරිමාතෘ විශාඛාවෝ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ ආයුෂ්මත් උදායී තෙරණුවන් රහසිගත ව මෛථුනකර්‍මයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව හුන්නවුන් දුටහ. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට මෙ පවත් සැළ කළහ:
“යම් හෙයකින් හිමිහු එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව සිට නිෂද්‍ය කෙරෙත් ද, වහන්ස, තෙල අයෝග්‍ය ය, නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැති වුව ද වැලිත් නොපහන් මිනිස්සු නො හදහවාලිය හෙති” යි.
4. මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙ ලෙසිනුත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ කියනු ලබන්නාහු දු නොපිළිගත්හ. එසඳ මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද, ඔහු අවඥා කෙරෙත්, නුගුණ බෙණෙත්, අයුණු පතුරුවත්: “ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව සිට කෙසේ නිෂද්‍ය කළාහු ද” කියා ය.
5. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “උදායිය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කෙළෙහි ල යනු සැබෑ ද?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබැවෙකැ” යි හේ කී ය. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “මෝඝපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක රහසිගත ව එකලා ව කෙසේ නිෂද්‍ය කෙළෙහි ද, මෝඝපුරුෂය, මෙය නොපහන් මිනිසුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කරන්නේ වේ ද, හැදහිය යුතු බස් ඇති උවැසියක් ඒ මහණහු දැක පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේ ව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් දොස් තබා බෙණේ නම්, නිෂද්‍යාව පිළින කරණ මහණ පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතු. හැදහිය යුතු වචන ඇති ඒ උවැසිය යම් ඇවැතකින් හෝ දොස් තබා බෙණේ නම්, ඒ මහණ ඒ ඇවැතින් කරවිය යුතු ය. මේ ඇවැත අනියත යි”
6. යො පන -යි යමෙක්, යම් බඳු වූවෙක් ....
භික්‍ඛු යි ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි දී භික්‍ෂුහු ය යි දක්වන ලදි.
මාතුගාම නම්: මිනිස් මාගම යි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන් දැරිය ද වෙයි. ඉමහත් ස්‍ත්‍රිය (මැහැලි) කැලම ය. (කියනු ම කීම).
සද්ධිං යි එකතු ය.
ඒකෝ ඒකාය යි මහණෙක් ද මාගමෙක් ද වෙයි.
රහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: කනන කල ඇස වේව යි නඟන කල බැම වේව යි නගන කල හිස වේව යි දක්නට නොහැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
පටිච්‍ඡන්න නම්: අස්න බිත්තියෙන් හෝ කවුළු දොරින් හෝ කලාලින් හෝ කඩතුරා පවුරින් හෝ රුකින් හෝ කණුවෙන් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
අලංකම්මතියෙ යි මෙවුන්දම් සෙවුනට හැක්කේ වෙයි.
නිඝජ්ජං කප්පෙය්‍ය යි මාගම හුන්කල මහණ ලං ව හුන්නේ හෝ වෙයි. ලං ව හොත්තේ හෝ වෙයි. මහණ හුන්කල මාගම ලං ව හුන්නී හෝ වෙයි. ලං ව හොත්තී හෝ වෙයි. දෙදෙනා ම හෝ හුන්නාහු වෙති. දෙදෙනා ම හෝ හොත්තාහු වෙති.
සද්ධෙය්‍ය වචසා නම්: ලැබූ සෝවාන් ඵල ඇති පිළිවිදි සිවුසස් ඇති දත් සසුන් ඇති (උවැසි).