3. 12.
දුර්‍වචශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම අනාචාර කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහ: ‘ඇවැත, ඡන්නය, මෙබන්දක් නො කරව, මේ නො කැප ය’ යි. හෙතෙම මෙසේ කියයි: ‘කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්. අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලද ය. යම්සේ නම් මහසුළඟ හමන්නේ තණ වියලිදඬු පරණලා එක්රැස් කරන්නේ ද, තවද යම්සේ හෝ කන්දෙන් ගලාබස්නා නදිය සක් සෙවෙල් පිසඹුරු එක්රැස් කරන්නී ද, එසේ ම තෙපි නොයෙක් නම් ඇත්තහු නොයෙක් ගෝත්‍ර ඇත්තහු නොයෙක් ජාති ඇත්තහු නොයෙක් කුලයෙන් නික්ම පැවිදි වූවහු එක්රැස් වූවහු ය. කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්, අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලදැ’ යි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වූහු ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙම භික්‍ෂූන් විසින් කරණු සහිත ව කියනු ලබන්නේ තමා නොකියයුත්තකු කෙළේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... ‘සැබෑවෙක් ද ඡන්නය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි දැ’ යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ: කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි ද ... තුච්ඡපුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණ තෙම දුර්‍වචස්කස්වභාව ඇත්තේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂෝද්දේශයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයෙහි ලා (ලජ්ජි) භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ ‘ආයුෂ්මත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු. මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ කිසිවක් නො කියන්නෙමි. ආයුෂ්මත්නි, මට අවවාදයෙන් වෙන් වවු’යයි තමා නො කියයුත්තකු කෙරේ ද, ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා. ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා. ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා. භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවත්හුගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම’ යයි. මෙසේත් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි කොට ගණී නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරැලීම පිණිස තුන්වනවට දක්වා සමනුභාසනය කළයුත්තේ ය. ඉදින් තුන්වනවට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ ලබ්ධිය හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ” ය යි.
2. භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති යනු: දුර්වචස්ක වූයේ දුර්වච කරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූයේ (අවවාදය) නො ඉවසන්නේ අනුශාසනය පැදකුණින් (අදර ඇති වැ) නො ගන්නේ වෙයි.
උද්දේසපරියාපන්තේසු ශික්ඛාපදෙසු යනු: ප්‍රාතිමෝක්‍ෂයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයන්හි.
භික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින්.
සහධම්මික නම්: භාග්‍යවතුන් විසින් පනවන ලද යම් ශික්‍ෂාපදයෙක් වේ ද තෙල සහධම්මික නමි. එයින් කියනු ලබන්නේ ‘ඇවැත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු, මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියන්නෙමි. ඇවැත්නි, මට අවවාද වචනයෙන් වෙන් වවු’ යයි.
සො භික්ඛු යනු: ඒ දුර්වච ස්වභාව ඇති මහණ තෙම.
භික්ඛූහි යනු: අන් මහණුන් විසින්, යම් කෙනෙක් දකිත් ද යම් කෙනෙක් අසත් ද ඔවුන් විසින් ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී මැ ය’යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සඟමැදට ද ඇද ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම ය’ යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සමනුභාසනය කළ යුත්තේ ය. තවද මහණෙනි, මෙසේත් සමනුභාසනය කළයුත්තේ ය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ය.
වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කෙරෙයි, යම් ආයුෂ්මතක්හට ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නුරුස්නේ නම් හෙතෙම බණන්නේ ය.