3. 11.
ද්විතීයසඞ්ඝභේදශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කෙරෙති. තවද එසමයෙහි දෙව්දත් තෙම සඞ්ඝභේදය පිණිස චක්රභේදය පිණිස යතන කෙරෙයි. භික්ෂූහු මෙසේ කීහු: ‘දෙව්දත් අධර්මවාදී යැ, දෙව්දත් අවිනයවාදී යැ. කෙසේ නම් දෙව්දත් සඞ්ඝභේදය පිණිස චක්රභේදය පිණිස යතන කෙරේ දැ’යි. මෙසේ කී කල්හි කටමොරකතිස්සක නම් කෝකාලික තෙමේ ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත තෙමේ ද ඒ භික්ෂූන්ට මෙසේ කීහු: ‘ආයුෂ්මත්නි, නහමක් මෙසේ කියවු, දෙව්දත් ධර්මවාදී යැ, දෙව්දත් විනයවාදී යැ, දෙව්දත් අපගේ ද ඡන්දයත් රුචියත් ගෙණ ව්යවහාර කෙරෙයි. අපගේ (ඡන්දාදිය) දනී. (දැන) කියයි තෙල අපට ද රුචි වේ’ ය යි. යම් භික්ෂු කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති: ‘කෙසේ නම් භික්ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්තක වූවාහු වර්ගවාදක වූවාහු වෙත් දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... ‘සැබෑව ද මහණෙනි, භික්ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්තක වූවාහු ද? අනුවර්තක වූවාහු වර්ගවාදක වූවාහු වෙත් දැ’යි. ‘සැබෑව භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ... ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්තක වූවාහු වර්ගවාදක වූවාහු වෙත් දැ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්රසාදය පිණිස හෝ නොවෙයි. ... තව ද මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසවු:
“සඞ්ඝභේදය පිණිස යතන කරණ එ මැ මහණහට අනුවර්තක වූ වර්ගවාදක වූ භික්ෂූහු එකෙක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත් ද ඔහු මෙසේ කියන්නාහු නම්: ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නොකියවු. තෙල මහණ ධර්මවාදී ය. තෙල මහණ විනයවාදී ය. අපගේ ද ඡන්දයත් රුචියත් ගෙණ ව්යවහාර කෙරෙයි, අපගේ ඡන්දාදිය දනියි. අප සමග බෙණෙයි, තෙල අපට ද රිසි වේ” ය යි. ඒ භික්ෂූහු භික්ෂූන් විසින් මෙසේ කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. ඒ (අනුවර්තක) භික්ෂූහු භික්ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නාහු එසේමැ දැඩි කොට ගන්නාහු නම් ඒ භික්ෂූහු භික්ෂූන් විසින් ඒ ලබ්ධිය දුරලීම පිණිස තෙවන වට දක්වා සමනුභාසන කම් කළ යුත්තාහ. ඉදින් තෙවන වට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නාහු ඒ ලබ්ධිය හරණාහු නම් මේ දුරලීම මැනවි. ඉදින් නො හරණාහු නම් සඟවෙසෙස් වේ ය”යි.
2. තස්සේව ඛො පන යනු: ඒ සඞ්ඝභේදක මහණහට.
භික්ඛු හොන්ති යනු: අන් භික්ෂූහු වෙත්.
අනුවත්තකා යනු: යම් දෘෂ්ටි ඇත්තෙක් යම් ක්ෂාන්ති ඇත්තෙක් යම් රුචි ඇත්තෙක් වේ ද ඔහු ද, ඒ ලබ්ධි ඇත්තාහු ඒ ක්ෂාන්ති ඇත්තාහු ඒ රුචි ඇත්තාහු වෙත්.
වග්ගවාදකා යනු: ඔහුගේ ගුණ වැණීමට පක්ෂවෘද්ධිය පිණිස සිටියාහු වෙත්.
ඒකෝ වා ද්වෙ වා තයො වා යනු: එකෙක් හෝ වෙයි. දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත්. ඔහු මෙසේ කියන්නාහු ය: ‘ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නො කියවු, තෙල මහණ ධර්මවාදී ය, තෙල මහණ විනයවාදී ය, තෙල මහණ අපගේ ද ඡන්දයත් රුචියත් ගෙණ ව්යවහාර කෙරෙයි. අපගේ (ඡන්දාදිය) දනියි, අප සමග බෙණෙයි. තෙල අපට ද රුචි වේ’ යයි.
තෙ භික්ඛු යනු: යම් ඒ අනුවර්තක භික්ෂූහු.
භික්ඛූහි යනු: අන්ය භික්ෂූන් විසින් යම් කෙනෙක් දකිත් ද, යම් කෙනෙක් අසද් ද, ඔවුන් විසින් කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු, තෙල මහණ නො ද ධර්මවාදී ය. තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නොකරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුරලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ භික්ෂූහු සඟමැදට ද ඇද කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා. සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුර ලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. ඒ භික්ෂූහු අන් මහණුන් විසින් සමනුභාසන කම් කළයුත්තාහ. තවද මහණෙනි, මෙසේත් සමනුභාසන කම් කළයුත්තාහ. ව්යක්ත වූ ප්රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්තකයහ, වර්ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්තකයහ වර්ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කිරීම රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය. දෙවන වට ද මෙපවත් කියමි. ... තෙවන වට ද මෙපවත් කියමි. ...