3. 10.
ප්රථමසඞ්ඝභේදශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි දෙව්දත් තෙම කටමොරකතිස්සක නම් කෝකාලික යම් තැනෙක්හි ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත යම් තැනෙක්හි ද එතැන්හි එළඹ කටමොරකතිස්සක කෝකාලිකට ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්තට ද මෙසේ කී ය: “එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරම්හ. චක්රභේදය කරම්හ” යි. මෙසේ කී කල්හි කෝකාලික දෙව්දත්හට මේ කී ය: ඇවැත්නි, මහණ ගොයුම්හු මහත් ඍද්ධි ඇත්තාහ, මහත් අනුභාව ඇත්තාහ. කිසෙයින් අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරමෝ ද චක්රභේද කරමෝ දැ?යි. එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් ඉල්ලා සිටුම්හ: ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ, නොයෙක් අයුරින් අල්පේච්ඡ බව, සන්තුෂ්ට බව, සල්ලේඛය, ධූතගුණය, ප්රසාද එළවන බව, අපචය, වීර්ය්යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතගුණයට ප්රසාද එළවන බවට අපචයට වීර්ය්යාරම්භයට වැටෙත්.
“ස්වාමීනි, භික්ෂූහු යාවජ්ජීවයෙන් ආරණ්යක වන්නාහු නම් මැනව. යමෙක් ග්රාමාන්තයට වදනේ නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් පාශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගැහැවිසිවුරු ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් මත්ස්යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ යි.
මේ වස්තූන් ශ්රමණ ගෞතමයෝ නො අනුදන්නාහ. අපි මේ වස්තූන් කරණ කොටගෙන ජනයා දන්වාලම්හ”යි. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොටගෙන මහණ ගොයුම්හට සඞ්ඝභේද කරන්නට චක්රභේද කරන්නට හැකියැ. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්යයෝ රූක්ෂප්රසන්නයෝ ද එහෙයිනැ”යි.
2. ඉක්බිති දෙව්දත් තෙම පිරිස් සහිත වූයේ භාග්යවතුන් වහන්සේ කරා එළඹ භාග්යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හිඳගත. එකත්පස් ව හුන් දෙව්දත් භාග්යවතුන් වහන්සේට මෙපවත් කී ය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අල්පේච්ඡ බව සන්තුෂ්ට බව සල්ලේඛය ධූතගුණය ප්රසාදික බව අපචය වීර්ය්යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු නොයෙක් අයුරින් අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතයට ප්රසාදික ගුණයට අපචයට වීර්ය්යාරම්භයට වැටෙත්.
“ස්වාමීනි, භික්ෂූහු යාවජීවයෙන් ආරණ්යක වන්නාහු නම් මැනව. යමෙක් ග්රාමාන්තයට බස්නේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපතිචීවර ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් මත්ස්යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. “කම් නැත දේවදත්තය, යමෙක් රිසියේ නම් ආරණ්යක වේවා, යමෙක් රිසියේ නම් ග්රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසියේ නම් පිණ්ඩපාතික වේවා. යමෙක් රිසියේ නම් නිමන්ත්රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පාංශුකූලික වේවා. යමෙක් රිසියේ නම් ගැහැවිසිවුරු ඉවසාවා. දේවදත්තය, මා විසින් අටමසෙක්හි ම රුක්මුල් සෙනස්න අනුදන්නා ලද (තමා පිණිස) මරණු නො දක්නා ලද නොඅසන ලද සැක නොකරණ ලද ත්රිකෝටිපරිශුද්ධ වූ මත්ස්යමාංශය අනුදන්නා ලදැ”යි. එකල්හි දෙව්දත් භාග්යවතුන් වහන්සේ මේ පඤ්චවස්තූන් නො අනුදන්නාහ’යි. සතුටු වූයේ ඔදවැඩියේ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්යවතුන් වහන්සේට අභිවාදන කොට පැදකුණු කොට නික්ම ගියේ ය.
3. ඉක්බිති දෙව්දත් තෙම රජගහනුවර වැද පඤ්චවස්තුයෙන් ජනයා හඟවාලී ය: “ඇවැත්නි, අපි මහණගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් අයැදිම්හ. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නන් අයුරින් අල්පේච්ඡ බව පිළිබඳ ... යාවජ්ජීවයෙන් මත්ස්යමාංශ නොවළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. ශ්රමණගෞතමයෝ මේ වස්තූන් නො අනුදනිති. අපි මේ පඤ්චවස්තූන් සමාදන් ව වැටෙම්හ’යි. එහි යම් මිනිස් කෙනෙක් ශ්රද්ධා නැත්තාහු නො පහන් වූවාහු දුර්බුද්ධි වූවාහු ද ඔහු මෙසේ කීහු: මේ ශ්රමණශාක්යපුත්රීයයෝ ධූතගුණ ඇත්තාහ. කෙලෙස් තවන පැවැතුම් ඇත්තාහ. මහණ ගොයුම්හු වැළිත් බාහුලික පැවැතුම් ඇත්තාහු බහුලභාවයට සිතන්නාහ’යි. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තාහු, ප්රසන්න වූවාහු, පණ්ඩිත වූවාහු, බුද්ධිමත් වූවාහු වෙත් නම් ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. කිසෙයින් නම් දෙව්දත් භාග්යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්රභේදයට උත්සාහ කරන්නේ දැ’යි.
4. භික්ෂූහු අවමන් කරණ, නුගුණ කියන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් භික්ෂූ කෙනෙක් වෙත් නම් ඔහු “කෙසේ නම් දෙව්දත් භාග්යවතුන් වහන්සේට සඞ්ඝභේදය පිණිස චක්රභේදය පිණිස උත්සාය කරන්නේදැ”යි අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... “සැබෑවෙක් ද දේවදත්තය, තෝ සඞ්ඝභේදය පිණිස චක්රභේදය පිණිස වෑයම් කෙරෙහි දැ”යි. “සැබෑව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු වෙසෙසින් ගර්හා කළහ: කෙසේ නම් තෝ තුච්ඡපුරුෂය, සඞ්ඝභේදය පිණිස චක්රභේදය පිණිස වෑයම් කෙළෙහි ද? තුච්ඡපුරුෂය, තෙල අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. …තවද මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසවු: