විනිශ්චිත වස්තු
උද්දානගාථා:
සුපින, උච්චාර, පස්සාව, කාමවිතක්ක, උණ්හොදක, භේසජ්ජ, කණ්ඩුව, මග්ග, වත්‍ථි, ජන්තාඝර, ඌරු යන වස්තුහු ද.
සාමණේර, සුත්තසාමණේර, ඌරු, මුට්ඨිපීළන, ආකාසකටිකම්පන,කායත්‍ථම්භ, උපනිජ්ඣාන, තාලච්ඡිද්ද, කට්ඨඝට්ටන, වස්තූහු ද.
පටිසෝතනහායන, උදඤ්ජල, උදකධාවන, පුප්ඵාවලි, පොක්ඛරවන, වාලිකා, කද්දම, උස්සෙක, සයන, අඞ්ගුට්ඨික යන වස්තූහු දැ යි විනීත වස්තු සම සැත්තෑවකි.
1. එසමයෙහි එක්තරා මහණකුට සිහිනෙන් සුකුරු මිදිනි. කිම? මම සඟවෙසෙස් ඇවැතට අවන්නෙම් දෝයි ඒ මහණහට කුකුස් උපනි. ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, සිහිනෙන් ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. (1)
2. එසමයෙහි එක්තරා මල පහ කරණ මහණකුට සුකුරු මිදිනි. ඒ මහණහට කුකුස් උපනි. ... භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැති වූයෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො මුදන රිසිවීමි”යි හේ කීය. “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2)
3. එසමයෙහි සුළුවටන් කරණ, එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (3)
4. එසමයෙහි කාමවිතර්‍ක උපදවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, විතර්‍කණය කරන්නහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (4)
5. එසමයෙහි උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ කුමන සිතැති වූයෙහි දැ”යි අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම් මුදන රිසියෙම් නො වීමි” යි හේ කීය. “මහණ, මුදනු නො රිසියහුට ඇවැත් නො වේ”. (5)
6. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි ය යි” වදාළසේක. (6)
7. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (7)
8. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟෙහි වණයෙක් වෙයි. බෙහෙත් ආලේප කරණ ඒ මහණහට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (8)
9. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟ වණයක් වෙයි. මුදන රිසි ඇති බෙහෙදින් අලෙවු දෙන්නහුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (9-10)
10. එසමයෙහි අණ්ඩය කසන්නා වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නුමුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (11)
11. එසමයෙහි මුදන අදහස ඇති අණ්ඩය කසන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (12-13)
12. එසමයෙහි මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. “මහණ, මුදන නො රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (14)