විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
අධිමානෙන ය, අරඤ්ඤම්හි ය, පිණ්ඩ යයි වස්තු තුණෙක, උපජ්ඣාය වස්තු දෙකය, ඉරියාපථ වස්තු සතර ය, සංයෝජන වස්තු ය, රහෝධම්ම වස්තු දෙක ය, විහාරවස්තු ය, පච්චුපට්ඨිත (උපට්ඨිත) වස්තු ය.
නදුක්කර වස්තු ය, විරිය වස්තු ය, මච්චු වස්තුව ය, විප්පටිසාර වස්තු ය, සම්මාපයුත්ත වස්තු ය, ආරද්ධවිරිය වස්තු ය, යුත්තයෝග ආරාධන වස්තු ය, වැලිදු අනික් වේදනා වස්තු දෙක ය.
බ්‍රාහ්මණවස්තු පසෙක, අඤ්ඤබ්‍යාකරණ වස්තු තුණ ය, අගාරාවරණ වස්තුව ය, කාමාවරණ වස්තු ය, අභිරති වස්තු ය, පක්කම වස්තු ය.
අට්ඨි – පෙසි ගෝඝාතක වස්තු දෙක ය, මංසපිණ්ඩ සාකුණික වස්තු ය. නිච්ඡවිඕරබ්භික වස්තු ය, අසිලෝමසූකරිකවස්තු ය, සත්තිලෝම මාගවික වස්තු ය, උසුලොම කාරණික වස්තු ය, සුචිලෝම සාරථි වස්තු ය.
යමෙක් සූචියෙන් මැසේ ද ඒ සූචක වස්තු ය, අණ්ඩහාරී ගාමකූටක වස්තු ය, ගූථකූපයෙහි නිමග්න පාරදාරික වස්තු ය, ගූථඛාදී දුෂ්ට බ්‍රාහ්මණ වස්තු ය.
නිච්ඡවිඅතිවාරිණි වස්තු ය, මඞ්ගුලීඉක්ඛණිකා වස්තු ය. ඔකිලිනී සපත්තඞ්ගාර වස්තු ය, සීසච්ඡින්න චෝරඝාතක වස්තු ය.
භික්ඛු ය, භික්ඛුණි ය, සික්ඛමානා ය, සාමණේර ය, සාමණේරි ය යන මොහු කසුප් බුදු සස්නෙහි පැවිදිවූවාහු එකල්හි පව් කළාහු ය. ඔවුන්ගේ වස්තු ය.
තපෝදාය, රාජගහයුද්ධය, නාගානෝගාහනය, රහත් වූ සෝභිත මහණ පන්සිය කපක් සිහිකෙරෙයි යන මේ වස්තු දැයි විනීතවස්තු සැටකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් අධිමානයෙන් අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළේ ය. ඒ මහණහට කුකුස් විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. කිම? මම පරිජිඇවැත් අවන්නෙම් දෝ”යි ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ අධිමානයෙන් කියන්නහුට ඇවැත් නො වේ. (1)
2. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා වෙනෙහි වෙසෙයි “ජන තෙමේ මට සම්භාවනා කරන්නේ” යි. ජන තෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා වෙනෙහි නො විසිය යුතුයි. යමෙක් වෙසේ නම් දුකුළාඇවැත් වේ. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා පිඬු පිණිස හැසිරෙයි. “මෙසේ ජනතෙමේ මට සමිභාවනා කරන්නේ” යි. ජනතෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා පිඬු පිණිස නො ද හැසිරිය යුතුයි. යමෙක් හැසිරේ නම් දුකුළාඇවැත් වේ. (3)
4. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායයන් වහන්සේගේ යම් සද්ධිවිහාරිකයෝ වෙද්ද, ඒ සියල්ලෝ ම රහත්හු” යි. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායන් වහන්සේගේ යම් අතවැස්සෝ වෙද්ද ඒ සියල්ලෝ ම මහත් ඍද්ධි ඇත්තෝ ය. මහත් ආනුභාව ඇත්තෝ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහිදැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි’ යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (5)
6. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා සක්මන් කෙරෙයි – බුහුමන් පතා සිටියි – බුහුමන් පතා හිඳියි – බුහුමන් පතා හොවියි “ජනතෙමේ මෙසේ මට සම්භාවනා කරන්නේය” යි. ජනතෙමේ ඔහුට සම්භාවනා කළේ ය. ... ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා ... ශයනය නො කට යුතුයි. යමෙක් ශයනය කරන්නේ නම් දුකුළාඇවැත් වේ. (6-9)
7. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කියයි. “ඇවැත මාගේ දස සංයෝජනයෝ ප්‍රහීණයහ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (10)
8. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. පරසිත් දන්නා ඒ මහණ තෙමේ තෙල මහණහට ගැරහී ය: ඇවැත, මෙබන්දක් නහමක් කියව. ‘තෙල උතුරුමිනිස්දම තට නැත, ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (11)
9. එසමයෙහි එක්තරා මහණෙක් රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. දෙවියෙක් ඒ මහණහට ගැරහී ය. ‘වහන්ස, මෙබන්දක් නහමක් කියව. ඔබට එබන්දක් නැත. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (12)
10. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා උවසුවකුහට මෙසේ කීය. ඇවැත, යමෙක් තොපගේ වෙහෙර වෙසේ ද, ඒ මහණතෙමේ රහතෙකි. හෙතෙමේ ද ඔහුගේ වෙහෙර වෙසෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, “මම උතුරුමිනිස්දහම් එළවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නොවේ. ථුලැසිඇවැත් වේ. (13)