2. 4.
සිවුවන පරිජිය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි බොහෝ දුටුමිතුරු ඉටුමිතුරු වූ භික්ෂූහු වග්ගුමුදා නම් ගංතෙර වස් එළඹුනාහ. එසමයෙහි වැදෑරට දුබික් වෙයි. ජීවිතය පිළිබඳ දෙපරිද්දෙකින් පැවති අදහස් ඇති වෙයි. සේතට්ඨිකා නම් ශස්යරෝග ඇති වෙයි. (වපුළ ධාන්ය) හටගත් හිරටු ඇති වෙයි. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වේ.
2. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය: “දැන් වනාහි වැදෑ රට දුබික් වේ. ජීවිතයත් මරණයත් අතර පැවැති අදහස් ඇත්තේ වෙයි. සේතට්ඨිකා නම් ශස්ය රෝගයෙන් පෙළුනේ වෙයි. වපුළ දෑ හිරටු ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වෙයි. අපි කවර උපායකින් සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු ද, පිණ්ඩයෙන් නොම ක්ලාන්ත වන්නමුදැ”යි.
3. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, ඉදින් අපි ගිහියන්ගේ කර්මාන්ත හිටු කරන්නමෝ නම් මැනව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ මනා ව සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද නො ම ක්ලාන්ත වන්නෙමු” යි.
4. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්මාන්ත හිටු කිරීමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියන්ගේ පණිවුඩ ගෙණ යන්නමෝ නම් මැනැව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යි.
5. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, නොමැනැවි. ගිහියන්ගේ කර්මාන්ත හිටු කිරීමෙන් කිම? ගිහියන්ගේ පණිවුඩ ගෙණ යෑමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම් ගුණ කියමු: “අසෝ මහණ තෙමේ ප්රථමධ්යානලාභී ය. අසෝ මහණ තෙමේ ද්විතීයධ්යානලාභී ය. අසෝ මහණ තෙමේ තෘතීයධ්යාන ලෘභී ය. අසෝ මහණ තෙමේ චතුර්ත්ථධ්යාන ලාභී ය. අසෝ මහණ තෙමේ සෝවාන් ය. අසෝ මහණ තෙමේ සෙදගැමි ය. අසෝ මහණ තෙමේ අනගැමි ය. අසෝ මහණ තෙමේ රහත් ය. අසෝ මහණ තෙමේ ත්රිවිද්යා ඇත්තෙක. අසෝ මහණ තෙමේ ෂඩභිඥ ය” යි. මෙසේ ඇති කල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නොකරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිඬුයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යී. “ඇවැත්නි, අප විසින් ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ යම් උතුරුමිනිස්දම් ගුණයෙන් කියන ලද්දේ ද, මෙය ම ශ්රේෂ්ඨ වෙයි.”
6. ඉක්බිති ඒ භික්ෂූහු ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම්ගුණ කීහ: “අසෝ මහණ තෙමේ ප්රථමධ්යානලාභී ය. ... අසෝ මහණ තෙමේ ෂඩභිඥය” යි.
7. ඉක්බිති ඒ මිනිස්සු “අපට ලාභයෙක් ම ය. ඒකාන්තයෙන් අපට මනා ලැබුමෙකි. යම්බඳු වූ වෙත මෙබෙඳු භික්ෂූහු වස් එළඹියාහු ද, යම් සේ මේ භික්ෂූහු සිල්වත් ද, කළණදහම් ඇත්තාහු ද, ඒකාන්තයෙන් මින් පෙර මෙබඳු භික්ෂූහු අපගේ නිවසට නො එළඹියාහු ය” යි සිතූහ. ඔහු යම් බඳුවූ බොජුන් භික්ෂූන්ට දෙත් ද, එබඳු බොජුන් තුමූ නො බුදිත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවන්ට ද නො දෙත්. දස් කම්කරු පුරුෂයනට ද නො දෙත්. මිත්රාමාත්යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. යම්බඳු වූ කෑ යුතු දැය භික්ෂූන්ට දෙත් ද, එබඳු කෑයුතු දෑ ද ... නො දෙත්. රස විඳිය යුතු දෑ ද ... නො දෙත්. ... පානවර්ගයන් ද තුමූ නො බොත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවනට ද නො දෙත්. දස් කම්කරුවනට ද නො දෙත්. මිත්රාමාත්යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. ඉක්බිති ඒ භික්ෂූහු වර්ණවත් වූහ. පිණාගිය ඉඳුරන් ඇති වූහ. පහන් මුවපැහැ ඇති වූහ. වෙසෙසින් පහන් සිවිපැහැ ඇති වූහ.
8. වැස නිමවූ වස් ඇති භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ දැකීම සඳහා යෑම පුරුදු ම ය. ඉක්බිති වැස නිමවූ වස් ඇති ඒ භික්ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැම්පත් කොට තබා, පාසිවුරු ගෙණ විසල්පුරය බලා නික්මුනාහු ය. පිළිවෙළින් විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩසිටි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නාහු ය.
9. එසමයෙහි දිසාවන්හි වස් වුසූ භික්ෂූහු වැහැරුණාහු රළු වූවාහු දුර්වර්ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇත්තාහු නහර ඉල්පීගිය සිරුරු ඇත්තෝ වෙත්. වග්ගුමුදා ගංතෙර වස් වුසූ භික්ෂූහු වර්ණවත් වූවාහු පිණාගිය ඉඳුරන් ඇත්තාහු පහන් මුවපැහැ ඇත්තාහු වෙසෙසින් පහන් සිවිපැහැ ඇත්තෝ වෙත්. භාග්යවත් බුදුවරුන් විසින් ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කිරීම ආච්ර්ණ ම ය.
10. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වග්ගුමුදා ගං තෙර වැසි භික්ෂූන්ට “මහණෙනි, කිම සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමග වූවාහු, සතුටු වූවාහු විවාද නො කරන්නාහු පහසු සේ වස් වුසුවහු ද? අහරින් ක්ලාන්ත නො වූවහු ද?” යි වදාළ සේක, භාග්යවතුන් වහන්ස, සිහිය හැක්ක. භාග්යවතුන් වහන්ස, යැපිය හැක්ක. වහන්ස, අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරමින් පහසු සේ වස් වුසුම්හ. අහරින් ක්ලාන්ත නො වූම්හ” යි. තථාගතවරු දනිමිනුත් විචාරත්. දනිමිනුත් නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්ත්ථයෙන් යුක්ත වූවක් ම විචාරත්. අනර්ත්ථසංහියක් නො විචාරත්. අනර්ත්ථයෙන් යුක්ත වචනයෙහි තථාගතවරන්ගේ මගනුවණින් ප්රත්යයඝාතය වෙයි.