විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
සංවණ්ණනා, නිසීදන්ත, මුසල, උදුක්ඛල සමඟ සතරක් ද, බුඩ්ඪපබ්බජිත තුණක්දැයි සතකි. ලග්ග තුණක් ද වීමංසන විස දෙකක් දැයි වස්තු 12 ක් ද,
විහාරවත්ථු තුණක් ද අනෙක් ඉට්ඨකවත්ථු තුණක් ද, වාසී, ගෝපානසී, අට්ටක, ඔතාරණ, යන වස්තූන් තුන බැගින් ද, පති දෙකක් දැයි 20 ක් ද,
සෙද, නත්ථු, සම්බාහන, නහාපන, අබ්භඤ්ජන, උට්ඨාපන, නිපාතන, අන්නමාරණ, පානමාරණ වස්තු තුන බැගින් 27 ක් ද,
ජාරගබ්භ, සපතනිය සම්බන්ධ මවුමළ, පුතුමළ, දෙදෙනා ම මළ, දෙදෙනා ම නො මළ වස්තු සතරක් ද, මද්දාපන, තාපන වඤ්ඣා, විජායිනී වස්තු සතරක් දැයි 9 ක් ද,
පතෝද, නිග්ගහ, යක්ඛ වස්තු ද, වාළ යක්ඛවස්තු තුණක් ද, පාහිනි කන්තාර වස්තු සයක් ද, මඤ්ඤමාන සතරක් ද, පහාර තුණක් ද, සග්ග තුණක් ද, නිරයවණ්ණනා තුණක් දැයි 25 ක් ද,
ආලවිරුක්ඛවත්ථු තුණක් ද දාය වත්ථු තුණක් ද, මා කිලමෙසි තුණක් ද, තක්ක, සොවීරක දෙක දැයි 10 ක් ද වූ විනීත වස්තු එක්සිය තුණෙකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. භික්ෂූහු ඒ මහණහට කරුණාවෙන් මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය. “කිම අපි පරිජිඇවැත් අවන්නමෝ ද” යි ඔවුන්ට කුකුස් විය. ... ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.”
2. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හිඳගන්නේ රෙදිකඩකින් පිළිසන් දරුවකු මැඩ ගෙණ මැරී ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, පරික්ෂා නො කොට අසුනෙහි නො හිඳිය යුතුයි. යමෙක් හිඳී නම් දුකුළා ඇවැත් වේ.”
3. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළු ගම බොජුන්හලෙහි අසුන් පණවන්නේ මොහොල් දෙකක් ඔසවා තැබූ කල්හි එක් මොහොලක් හැර ගත්තේ ය. දෙවෙනි මොහොල පෙරළී එක්තරා දරුවකුගේ හිසමත වැටුනේ ය. ඒ දරු තෙමේ කලුරිය කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිත් ඇත්තෙහි ද”? “භාග්යවතුන් වහන්ස, මම නො දැන කෙළෙමි.” මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
4. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළුගම බොජුන් හලෙහි අසුන් පණවන්නේ වංගෙඩියක් ඇක්ම පෙරළීය. එක්තරා දරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
5. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්ෂූන් කෙරෙහි මහණවූවෝ වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කී ය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝතෙමේ තොප අපේක්ෂා කෙරේ’ යි පිට ගෙණ නෙරීය. හෙතෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? ‘භාග්යවතුන් වහන්ස, මම මරණ අදහස් නැත්තෙම් වෙමි.’ මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (5)
6. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මුනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (6)
7. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (7)
8. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (8)
9. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (9)
10. එසමයෙහි බුදින එක්තරා මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ නො ම මෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (10)
11. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් විසමුසු අහරක් ලැබ අසුන්හලට ගෙණ ගොස් භික්ෂූන්ට අග්රපිණ්ඩය දුනි. ඒ භික්ෂූහු මළහ. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්යවතුන් වහන්ස, මම නො දනිමි.’ මහණ, නො දන්නහුට ඇවැත් නො වේ. (11)
12. එසමයෙහි විමැසියැටි එක්තරා මහණෙක් එක්තරා මහණකුට වස දුනි. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්යවතුන් වහන්ස, මම විමසන අදහස් ඇත්තෙමි’යී. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (12)